Search This Blog

Saturday, June 13, 2015

නො නිමෙන පහණක් - 04 කොටස

මීදුම කපාගෙන හිරු කිරණ රන් දිය දහරක් මෙන් හරිත ලතාවන් හා ධරණී මාතාව සිපගන්නට විය. තණ අග රැඳී පිනි බිඳු හිරු රැසින් දීප්තිමත්ව දිලිසෙන්නට විය. මුව වසා සිටි පුෂ්පලතාවන් විකසිතව කුරුළු ගී නඳින් මත්වී හිරු කිරණට පෙම් බඳිද්දී, ඔවුන්ගේ රූ සපුවට වහ වැටුණු පෙම්වතුන් වන බඹර, මී මැසි කැළ එක පොදියට තම නොයිඳුල් පෙම්වතියන්ගේ මුව සිපගැනීමේ බලවත් ආශාවෙන් මෙන් ඔවුන් කරා ඇදෙන්නට විය.

හිමිදිරි අරුණැල්ලත් සමඟ පිබිදුණු සියලුම සිසු සිසුවියෝ තම ගමනේ ප්‍රධාන ම අරමුණ හිතැතිව ලහි ලහියේ සූදානම් වන්නට විය. තරඟ පැවැත්වීමට නියමිතව තිබුණේ ඔවුන් ලැගුම්ගත් පාසලට නුදුරින් වූ බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ය. උදෑසන 8.30 වන විට තරග ස්ථානයට වාර්තා කළ යුතු විය. නීති රීති පරිදි සියලුම නැටුම් කණ්ඩායම් නියමිත වෙලාවටත් පෙර තරග ස්ථානයට වාර්තා කෙරිණ.

“ද..රු..ව...නේ... හැමදේම කල්පනාවෙන්... ජජ් බෝඩ් එක ලේසි නෑ... ඒ උණාට... බය වෙන්න එපා.. ඔයාලට බැරි නෑ.. තමුන්ගේ ටික තමුන් හරියට කරන්න.. අනුන් කරන දේවල් ගැන වද වෙන්න එපා.. එතකොට කිසි දෙයක් අවුල් වෙන්නේ නෑ.. අන්තිමට හිතුවටත් වැඩිය හොඳට හැමදේම කරලා කියල තේරෙයි... ඔයාලට ම"....

තිලකා මිස් සිසුවියන්ගේ ධෛර්යය වඩවන්නට විය.

පෙරවරු 10.00 වන විට තරගය ආරම්භ විය. කණ්ඩායමට තෙවනුව නැටුම් ඉදිරිපත් කිරීම සදහා අනුමැතිය ලැබිණි. දිවයිනේ දසතින් පැමිණි පාසල් 14ක් තරගය සදහා ඉදිරිපත් වීමට නියමිත විය. කොළඹ ප්‍රධාන පෙලේ පාසල් දෙකක් ද මේ අතර විය.

පළමුව සහ දෙවනුව තරගයට ඉදිරිපත් වුණු පාසල් කණ්ඩායම් දෙකේ ම ඉදිරිපත් කිරීම සෑහෙන තරමට සාර්ථක විය. වේදිකාවේ පසුපස සිටි සිසුවියන් 16 දෙනාගේ ම හිත් අශ්ව ගාලක් කඩාගෙන බිඳගෙන දුවන්නාක් මෙන් ගැහෙන්නට විය.

"දරුව...නේ.. යන්න ස්ටේජ් එකට.. තෙරුවන් සරණයි... දෙවියන්..ගේ පිහිටයි".... වේදිකා පසුතල නිර්මාණ භාරව කටයුතු කළ සෙනෙවිරත්න මිස් කීවා ය.

සිසුවියෝ සියලු දෙනාම ගුරුවරුන්ගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත් අතර හිතේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වේදිකාවට පිවිසුණෝ ය. සියල්ලෝම මොහොතකට තම දෑස් අඩවන් කර ගනිමින් තෙරුවන් සිහි කරන්නට විය. මෙතැන් පටන් ඉදිරි විනාඩි 20 ක කාලය අතරතුර වෙන කිසිවක් නොව ඔවුන් තම රංග බුමිකාව වෙත සිත් යොමු කල යුතු ය. කණ්ඩායමේ තරග තේමාව ලෙස යොදා ගැනුණේ ගජගා වන්නම සහ හටන් නැටුමක සංකලනයකි.

පුරා විනාඩි 20ක කාලය තුල ඔවුන් සියල්ලෝම සිටියේ තම භූමිකාව ආරූඪ කරගෙන ය. විනිශ්චය මණ්ඩලය ඔවුන්ගේ නර්තනය පිළිබඳ ඉතා ප්‍රසන්න හැඟුමෙන් කතා බහට ලක් කරන්නට විය. කාලය විනාඩි, හෝරා ලෙසින් ගෙවී ගියේ ය. සියලුම පාසල් තම ප්‍රතිඵල දැන ගැනීමේ බලවත් ආසාවත් හිතැතිව තරගය අවසන් වන තෙක් මුව අයා බලා සිටියෝ ය.

සවස 3.30 පමණ විය. ඒ වන විට තරගයේ ප්‍රතිඵල සකස් වෙමින් තිබිණ. අවසානයේ සියල්ලෝම බලා සිටි එම තීරණාත්මක අවස්ථාව එළඹී ය. විනිශ්චය මණ්ඩලය තම නිර්ණයන් ඉදිරිපත් කරන්නට සැරසුණේ ය.

"අද දවසේ... පාසල් 14ක ...ඉදිරිපත් කිරීම් අතරින්... සමස්ථ ලංකා නැටුම් තරඟාවලියේ.... ප්‍රථම ස්ථානය හිමි වන්නේ......."....

එය එසේ ම විය. දක්ෂතාවය පසෙක ළා නාමය සහ බලය රජ විය. ප්‍රථම ස්ථානය හිමි වුයේ කොළඹ ප්‍රධාන පාසලකට ය.

"මන් නම්... හිතුව ඕක... දැක්කේ නැද්ද ආව වෙලේ ඉදල ජජ් බෝඩ් එක වටේ කැරකුණ හැටි ටීචර්ස්ල ටික"..
ප්‍රතිඵල නිකුත් වනවාත් සමග ම බොහෝ දෙනාගේ මුව රැදුනේ එවන් වදනකි.

"අපෝ.. දැන් ඉතින් වැඩක් නෑ.. අපි කොච්චර මහන්සි වුණාද"... නයනා ද මුහුණ හකුළුවා ගත්තා ය.

"එහෙම කියන්න එපා දරුව..නේ.. තව ප්ලේසස් දෙකක් ම තියෙනවා..නේ".. සේකර සර් බලාපොරොත්තු දැල්වුණ දෑසින් යුක්තව කියන්නට විය.

සැබෑ ම ය. ගුරුවරයකුගේ ඉව වරදින්නේ එහෙමත් වෙලාවක පමණ ය. දෙවන ස්ථානය හිමි වුයේ ඔවුන්ට ය.

"මො...න....වා... ඒ අපේ ඉස්කෝලේ නම නේද කිව්වේ.... හුරේ... අ...පි දි...නු...ම්"...
සිසුවියන් සතුටින් ඉපිල ගියේ මී පැණි දුටු වලස් රංචුවක් මෙනි.

"පළවෙනි තැන නැති වුණාට මොකෝ... අපි ඉතින් එක වුණා වගේ තමා"... මානෙල් ද හවුල් විය.

සිසුවියන් සියල්ලෝම යළිත් තම ගුරුවරයන් වූ තිලකා මිස්ගේත්, සෙනෙවිරත්න මිස්ගේත්, සේකර සර්ගේත් දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තෝ ය. ඔවුන් සියලු දෙනාගේ ම දෑස් සතුටු කදුළින් දිලිසෙන්නට විය. ගාම්භිරත්වයකින් හිත පුරවාගත් ඔවුන් සියලු දෙනාම නැවතත් තම ගම රට බලා පිටත් වීමට සැරසුනෝ ය.

***********************************************************
(මතු සම්බන්ධයි )
*****************************************

නො නිමෙන පහණක් - 03 කොටස

උදෑසන  7.45 ට පිටත් වුණු දුම්රිය , බණ්ඩාරවෙල ප්‍රධාන  දුම්රිය ස්ථානය වෙත ළඟා වන විට සවස 6.00 ට පමණ ආසන්නව තිබිණ. එතැන් සිට බණ්ඩාරවෙල, කිණිගම දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් ගමන් ගැනීමට ඔවුන්ට සිදු විය. සමස්ත ලංකා නැටුම් තරඟාවලිය සඳහා පැමිණෙන සියලුම පාසල් කණ්ඩායම් වලට නවාතැන් ලැබුනේ කිණිගම  මධ්‍ය  මහා විද්‍යාලයේ ය.

සවස 7.00 පමණ වන විට ඔවුන් කිණිගම දුම්රියපළ වෙත ලඟා විය. හාත්පස අඳුර හා සමානව ම මීදුම පැතිරෙන්නට විය. විටින් විට හමා යන සුළගින් නැගුණ මද සීතලෙන් ඇඟ පත කිළිපොලා යන්නට විය.

“අ...ම්..මෝ... හිතුවට වැඩිය මෙහෙ මා...ර... සීතලයි...නේ”....

ඒ දෑත් පිරිමැද කම්මුල් මත ස්පර්ශ කර ගනිමින් උණුසුම් වීමට තැත් කරන නයනා ය. මේ අතර සේකර සර්ගේ හඬ අවදි විය.

“ළමයිනේ.. ඉක්මන් කරන්න.. තවත් කළුවර වෙන්න කලින් අපි ඉස්කෝලෙට යන්න බලමු.. පයින් යන්නත් එපැයි” ..

කිණිගම දුම්රියපළින් පිට වනවාත් සමග ම ඉදිරිපසින් පෙනෙන කුඩා කඳු ගැටයක් මුදුනේ කිණිගම මධ්‍ය  මහා විද්‍යාලය  පිහිටියේ ය. සීතලත්, අඳුරත් මැඩගෙන තවලම් පැටෙව්වාක් මෙන් සියලුම බඩු මුට්ටු සමග කණ්ඩායම කඳු ගැටය තරණය  කරන්නට පටන් ගත්තේ ය.

“ම..ට නම් ත...ව  බෑ..ඈ ... අයියෝ... අම්මේ.... අපොයි බෑ.... බෑ. ..ඈ....ඈ”...

මඳ දුරක් ගිය සයුරි හතර ගාතෙන් ම හිටි තැන ම තත්පලන් දමාගෙන බිම වාඩි විය.

“තව ටිකයි දරුවෝ.. වැඩි දුරක් නෑ.. කෝ ... ළමයි.. සයුරිට උදව් කරන්න”…. බෙර දෙකක් කර පින්නාගෙන සිටි සෙනෙවිරත්න මිස් කිවා ය.

“සයුරි.. නැගිටිනවකෝ.,.. මේ අපිත් යන්නේ.. එක දවසකට බූරු පැටියෙක් වෙන්න බැරි ද” ?
නයනාගේ කියවිල්ලට හැම දෙනාම සිනාසෙන්නට විය.

“කෝ... අත ..දෙන්න”... මානෙල් සයුරි ට උදව් කළා ය. නයනා ද ඉදිරිපත් විය.

කෙසේ හෝ සියලු දෙනාම පාසල වෙත ලඟා විය. ඒ වනවිටත් පාසල් 10කින් පමණ පැමිණි කණ්ඩායම් එහි පන්ති කාමරවල ලැගුම්ගෙන තිබිණ. මොවුන්ට හිමි වුයේ 9B පන්ති කාමරයයි. කාමරයට ඇතුළු වුණු විගස ඇඟේ පටවාගෙන සිටි බඩු බාහිරාදිය සියල්ල ම බිම පතිත කළ සිසුවියෝ තැන් තැන්වල වැටි ගිමන් හරින්නට විය.

ටික වෙලාවකට පසු,

“නයනා... එනවද යන්න ගමනක්”... ? මානෙල් ඇසුවා ය.

“කොහෙද”.. ?

“ඇහෙන්නේ නැද්ද.. සද්...දේ”.... ?

“කෝ... මොක...ක්..ද”... ? නයනා විපරම් කරන්නට විය. මොහොතකින්,

“මොකක්ද ඒ හෝ... ගා...න... සද්දේ”... ?

“එන්නකෝ.. යන්න... තිලකා මිසුත් එනවා අපිත් එක්ක”...

පාසල් වත්ත කෙලවර වනවාත් සමග ම එහි කුඩා දිය ඇල්ලක් විය. තිලකා මිස්ගෙන් මුහුණ කට සෝදා ගැනීමට පමණක් සිසුවියන්ට අවසර ලැබිණි.

“මා..නෙ...ල්.... මා... නෙ... ල්.... පිස්සුද ළමයෝ.... මේ මහ රෑ... කට්ට සීතලේ නාන්...නේ...
ලෙඩක් හැදුනොත් එහෙම... හෙට නටන්න නෙමෙයි වෙන්නෙ .. ඉස්පිරිතාලෙ නවතින්න”...

තිලකා මිස් ඇස් උඩ තියාගෙන බෙරිහන් තලන්නට විය.

ගුරුවරියක් වශයෙන් ඇයගේ මේ හැසිරීම සියයට සීයක් සාධාරණ ය. එහෙත් කෙළිලොල් යෞවනයේ පසුවන තරුණියක සතු අහිංසක දඩබ්බරකම මානෙල්ට ද නො අඩුව ම විය. ජිවිතයේ එළඹෙන යම් යම් අවස්ථාවල් යළි ලැබේ ද නොලැබේ ද යන්න අපට නිර්ණය කල නො හැකි ය. එබැවින් ලද අවස්ථාවකින් ප්‍රයෝජන  ගැනීමේ වරදක් ද විටෙක කිව නො හැකි ය.

රාත්‍රී 11.00 පමණ විය. විඩාවට පත් සිසුවියෝ සියල්ලෝම පන්ති කාමරයේ එකට වැටී හැකි පමණින් නින්දට ගියහ. හෙට දිනය ඔවුන්ට තීරණාත්මක දිනයක් වන බැවින් ඒ සදහා පුර්ව සූදානමට  විවේකය අත්‍යවශ්‍ය  ම ය. සීතලත්, මහන්සියත් නිසාවෙන් වැටෙන්නටත් පෙර නිදි දෙව්දුව ඔවුන්ව වැළඳ ගත්තා ය. ඒ අතරතුර ගුරුවර ගුරුවරියෝ ළමයින්ගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වුහ. මුළු රැය ම නොනිදා පහන් කිරිමට ඔවුන්ට සිදු විය.

නොනිමෙන පහණක් - 2 කොටස

“හ්..ම්..ම්..ම්..හ්...හ්...හ්.”..

කතාවට මුල පිරූ අම්මාගේ ලයෙන් නික්මුණු  දිග සුසුමක්  ඇගේ මුවින් වා තලයට එකතු විය.

“ඇයි අම්මේ.. ?  අම්ම කියන්න අකමැති දෙයක් නම් කමක් නෑ.  ඔන්න ඔහෙ නොකිය ඉන්න”..

අම්මගේ මුහුණේ ඉරියව් සැනෙකින් වෙනස් විය. එහෙත් එහි ගැබ් උණු අරුත මට වටහා ගත නොහැකි විය.

“ඔක්කොටම කළින් මගේ පුතා මට එක දෙයක් ගැන කියන්න ඕන.. හැබැයි ඇත්ත ම කියන්න ඕන”..

“මොකක් ගැනද  අම්ම අහන්නේ”.. ?

“පුතා තවම හිතේ අමාරුවෙන් නේද ඉන්නෙ.. පහුගිය කාලේ සිද්ද වුණ දේවල් නිසා”..

අල්පෙනෙති තුඩක් බිම වැටුණත්  ඇසෙන තරම් නිහැඩියාවක් හාත්පස ම විය. අම්මාගේ මුවින් පිටවුණු වචන කිහිපය අමු අමුවේ ම තුවාලයකට ස්ප්රිතතු වත් කළා වැනි ය. ක්ෂණයකින් මගේ සිත අවරුදු 2ක් ආපස්සට දිව ගියේ  මටත් නොදැනීම ය. අම්මාගේ වමත ඇය ලගට වී සිටි මගේ හිස මත නතර විය. මටත් නො දැනීම මගේ දෑස් තෙත් විය. ආයාසයෙන් මම නැවතත්  හඬ අවදි කළෙමි.

“මට දැන් ඒ දේවල් ගැන වැඩක් නෑ අම්මේ.. කවුරු  නැතත් මට මගේ අම්ම ඉන්නවනේ... මට ඒ හොදටම ඇති”..

“හ්ම්ම්.. මට නො තේරෙන්නේ නෑ මගේ පුතේ.. මේ අම්මට උඹ ගැන නො තේරෙන දෙයක් නෑ..  පුංචි කාලේ ඉදල තාත්තෙක් නැතුවත් උඹව මං හැදුවේ මලක් වගේ..  කවදාවත් උඹට මන් දුකක් දීල නෑ මගේ පුතේ”..

“මං ඒක දන්නව අම්මේ”..

අම්මගේ වචන වලට ඇස් දෙකින් කඳුළු පිට පනින්නේ නැති නම් ඒ මහා පුදුමයකි.

“හ්..ම්ම්... මං අද කියන දේ අහල මගේ පුතා මගේ ගැන වැරදියට හිතන්න එ..පා.... මං  මේ දේ කියන්න හේතුවත් මගේ පුතා මයි”. ..

“අම්ම මොන දේ කිව්වත් මන් කවදාවත් එහෙම නරකක් හිතන්නේ නෑ අම්මේ.. ඉතින් කියන්..න..කෝ.. මන් අහන්  ඉන්නම්”..
 

අම්මාගේ  අතීතාවර්ජනය ඇගේ 16 වන වියේදී සිදුවූවක් විය. කතාවේ  කතා නායකයා මගේ අම්මා ය. ඇය නමින් මෙන් ම හදවතින් ද මානෙල් මලකි. මේ ඇගේ කතාවයි.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

“නයනා.. කෝ මානෙල්... තවම ආවේ නැද්ද “.. ?

හිමිදිරියේ ම  ලහි ලහියේ ළමයින්ගේ ලැයිස්තුව පරික්ෂා කරමින් සිටි තිලකා ගුරුතුමිය විමසුවා ය. ඇය පාසලේ  උඩරට නැටුම් ගුරුතුමිය වුවා ය. සමස්ථ ලංකා නැටුම් තරඟාවලිය සදහා බණ්ඩාරවෙල බලා පිටත් වීමට සියල්ල සුදානම් විය.

“මිස් .. මිස්... මං ආව”..

“කොහෙද දරුවෝ හිටියේ”..

“නෑ මිස්.. මං මේ දැන් ආව විතරයි”..

“හා.. හරි .. හරි.. ළමයි ඔක්කොම 4 වෙනි පෙට්ටියට නගින්න.. කල්පනාවෙන් තම තමන්ගේ ගෙනාපු දේවල් මතක ඇතුව අතට ගන්න”..

කණ්ඩායමේ ළමයින් 16 දෙනෙක් විය. ඒ සමග ම නැටුම් ගුරුතුමිය වන තිලකා ගුරුතුමියත්, පෙරදිග සංගීත විෂය භාර  සේකර ගුරුතුමාත්, කලා අංශ භාර සෙනෙවිරත්න ගුරුතුමියත් විය. බෙර, තම්මැට්ටම්, සර්පිනා, බට නළා, ඇතුළු වාද්යර භාණ්ඩ රැසක් ද ඔවුන් අත විය.

..”කරුණාවෙන් සවන් දෙන්න.. තුන් වන වේදිකාවට පැමිණි  දුම්රිය බණ්ඩාරවෙල බලා පිටත් වේ.  එම දුම්රිය කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ඇති සෑම ප්ර ධාන දුම්රිය ස්ථානයක ම නවත්වනවා ඇත”....

කොටුව දුම්රියපළ දෙවනත් කරමින් යකඩ කටින් එසේ පිට වනවාත් සමග ම ඔවුන් රැගත් දුම්රිය  බණ්ඩාරවෙල බලා සෙමෙන් සෙමෙන් ගමනාරම්භ කලේ ය. ජීවිතයේදී සිදුවන සෑම සංසිද්ධියක ම අප හිතනවාට වඩා වැඩි යමක් ගැබ් ගෙන ඇති බව අපට හැඟෙන්නේ ඒ සියල්ල සිදු වී හමාර වන විටය. විටෙක එය සතුටක් විය හැකි ය. විටෙක එය මහා දුකක් විය හැකිය. මේ යන ගමනේ දී තමන්ගේ ජිවිතයේ පුර්ණ වෙනසක් සිදුවන බව මානෙල් හීනයකින්වත් නොසිතුවා ය.

*************************************************
                                                            

Wednesday, December 4, 2013

නොනිමෙන පහනක් - 01 කොටස

කාමරයට පිටින් වූ බැල්කනියට පිවිසි මම එහි වූ කොට බිත්තියට දෑත් ඔබාගෙන ඈත මුහුද දෙසින් හමාගෙන එන සිහිල් සුළගට හදවත විවර කළේ , හිතේ වූ මහා බර එක මොහොතකට හෝ සැහැල්ලු කර ගැනීමට මෙනි. විටෙක මේ ගෙවෙන දවස් කිහිපය හරියට මුහුදට ගිලා බහින ඉර වගේ යැයි ඒ දෙස බලා සිටින මට සිතිණ. නොදැනීම ඇස් වලට වැලි ගැසුවාක් මෙන් කැපි කැපී කදුළු කැට එකක් පසුපස එකක් කම්මුල් දිගේ ගලන්නට විය. 

“පු..තේ... මගේ .. පුතේ”.... 

ඒ අම්මාගේ කට හඬ ය.

“ඇයි ... අම්මේ... අ..ම්...මට ...අමාරුයි ද” ? ඉක්මණින් කඳුළු පිසදාගත් මම අම්මා නිදා සිටි ඇද ළගට දිව ගියෙමි.

“ම්..ම්..හ්..හ්.. මගේ පුතා.. කෑ..වද “?

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මවකි. මරණ මන්චකයේදීත් දරුවන් වෙනුවෙන් උණු වන හිතක් වේ නම් එය හිමි අම්මා කෙනෙකුට ම පමණකි.

“ඔව්.. අම්මේ... ම.....මං .. කෑව”....

අම්මගේ හිත හදන්න මම බොරුවක් කීවෙමි. කෑමක් තියා වතුර උගුරක් උගුරින් පහළට වැටෙන්නේ නැත. එහෙත් අම්මාගේ හිත තලන්න තරම් හයියක් ද මට නැත. නොදැනුවත් කමින් අම්මාගේ හිත රිදුන වාර ගැන අද මට ම මගේ ගැන විටෙක කලකිරෙයි. අම්මා කෙනෙකුට තම දරුවන්ගේ හොර අල්ලා ගැනීමට මහ කාලයක් ගත වන්නේ නැත.

“කෝ... කෑම ටික.. මගෙ ලගට වෙලා ක...න්න ගෙනල්..ල”...

“අම්ම කනවනම්.... මා...ත්... ක...න්...න...ම්”...


ආසිරි සෙන්ට්රකල් රෝහලේ B ඛාණ්ඩයේ දෙවෙනි මහලේ 314 කාමරයේ ගෙවෙන 4 වන දවස ය. ජිවිත පොතේ පරිච්ච්ජේද මේ තරම් ඉක්මණින්, මේ තරම් වෙනස් විදියට ලියවෙන්නේ කොහොමද ? අවුරුද්දකට පසු, මීට දවස් 7 කට කළින් අසනීපයෙන් පෙළුණු මගේ අම්මාත් සමග මම ලංකාවට පය තැබුවෙමි. ඉන් දින 5 කට පසු මගේ අම්මා රෝහල්ගත කෙරිණි. දින දෙකකට පෙර මරණාසන්නව සිටි මගේ අම්මා අද හුස්ම පොදක් ඉහළට අදින වාරයක් පාසා ම මගේ හිත සිය දහස් වාරයක් සතුටින් පිරෙයි. එහෙත් තව නොබෝ දිනකින් ශල්ය කර්මයකට යොමු කරන බව මතක් වීමත් සමග ම ඒ පිරුණු සතුට ක්ෂණයකින් පහව යයි.

ඒ කෙසේ වෙතත් එක දෙයක් ගැන පමණක් මම ආයාසයෙන් සතුටු වීමි. අවුරුදු 6ක් නිදහසේ වචනයක් කතා කරන්න තරම්වත් කාලයක් නොතිබුණු අපට, අද ඒ සඳහා කාලය උපරිමෙන් ම කාලය ම ලබා දී ඇත. මුළු රෑම අම්මගේ ළගට වී ඇගේ අත අල්ලාගෙන සිටීමටවත් මම වාසනාවන්ත වීමි.


වෙලාව රාත්‍රී 10 පමණ විය. අම්මා; ඇඳ ලග පුටුවට වකුටු වී සිටි මා ඇමතීය.

“පු..තේ... ටිකක් නිදා ගන්න... මන් හොදින් ඉන්නව...නේ”..

“නෑ.. නෑ.. ඕනේ නෑ.. මන් අම්මගේ ළග ඉන්නව.. මට මෙහෙම හොදයි...
අම්ම නිදා ගන්..න...කො”....

“මට නින්ද යන්නේ නෑ... පු... තේ... නිදි මතක් නැහැ"..

“අම්ම අද දවසෙම නිදිනේ... ඒ නිසා වෙන්න ඇති.. ටි.වී එක ටිකක් දාල දෙන්නද බලන්න” ?

“අ..පෝ එ..පා”...

“එ..හෙ..න...ම්... අම්මගේ පුංචි කාලේ කරපු දේවල් ටිකක් කියන්..න.. නින්ද යනකන්”..

අම්මගේ ළමා කාලය ඒ තරම් සුන්දර ය. ඇගේ අතීත සිදුවීම් අසා සිටීම මගේ ප්රි යතම විනෝදාංශ වලින් එකකි. වරක් නොව දස දහස් වරක් වුවද ඒවා අසා රස විඳිය හැකි ය.


“හ්..ම්..ම්..ම්... අ..ද මං ... අද වෙනකන් කවදා..වත් නොකිව්ව දෙයක් කියන්නම්”...

“ක..ව..දා..ව..ත් නොකිව්ව දෙයක්” ... ?... “අම්ම මට හැම දේම කියල තියෙනව...නේ”..

“ඔව්.. ඒ..ත් මේක කිව්වේ නෑ ම..ම”...

කෙටි නිහඩතාවක් පැතිරිණ. හිතට නැගී දාහක් දේ පසෙක තබා මම යලි හඬ අවදි කළෙමි.


“ඉ..ති..න් ඇයි අම්ම අද ඒ දේ කියන්න හිතුවේ” ?

“ඒ..කට හේතුව මං අන්තිමට කියන්නම්”...


ඇත්තටම අම්මා මේ කියන්න යන්නේ මොකක්ද ? මොන වගේ දෙයක් ද ? කවුරු ගැන ද? දහසක් ප්‍රශ්න  හිතේ තියාගෙන ම මම අම්මගෙන් පළමු වචනය පිට වන තෙක් බලා සිටියෙමි.

Monday, May 27, 2013

අවුරුදු සුවද - 06 (අවසාන) කොටස

“ළමයි...නේ... නැගිටින්නල දැන්.. ඔය මදෑ නිදා ගත්ත”... 

“තේ ටික ඇල් වතුර වෙලා”...


“හා හා.. කෝ ඉතිං.”.. 


“රෑ තිස්සේ නිදාගන්නැතුව නාඩගං නටනවනෙ ”...


පස්ස පැත්තට ඉර එළිය වැටෙනකන් සාලයේ මහ පොළොව බදාගෙන නිදන අපට ආච්චිඅම්මා විටින්
 විට විත් අප අවදි කිරීමට බලවත් ප්‍රයත්නයක යෙදෙයි.


“ආ...නේ... තව චුට්ටක් නිදා ගන්න දෙන්න...කෝ”.... මූණවල් කොට්ටවල ඔබා ගනිමින් පොඩිහිටියෝ කියති.


“ළ...මා...යි... නැගිටල මූණ කට හෝදගෙන යන්න ලෑස්ති වෙන්නල ”..


අම්මලාගේ සීනුව නාද වෙයි. මෙවිටදී නම් අවනත වීමට අකමැත්තෙන් වුවත් සිදුවේ. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් නිදි ගැට කඩමින් ඇස් බාගෙට පියවමින් අප නිදා ගත් කොට්ට පැදුරු අකුලන්නෙමු. ළිදෙන් අදින සීතල වතුර බාල්දියකින් සරුවාංගෙම නාවනකන් ඈලි මෑලි ගතිය නැති වෙනවානම් බොරු ය.


“මගෙ අම්...මේ... ඡාති ගො..ඩා...යි.”..


තේ බී අහවර වනවාත් සමග ම ආච්චිඅම්මා කෑම පිරවූ පිගන් අප අත තබයි. ඉදිආප්ප, ආප්ප, රෝල්ස් , කිරිබත් ආදීයෙන් පිගාන පිරිලා ය. ඒ සියල්ල ගිල දමන අපට සීයා බේකරියෙන් ගෙනාපු උණු උණු කිඹුල බනිස් ගෙඩියක් ද ලැබේ.


“පුතේ... දැන් කන්න බැරිනම් ඕක ගෙදර ගිහින් කන්න තියා ගන්න ”... අම්මලා කියද්දී,


“නෑ ...නෑ.. බඩේ තව ඉඩ තියෙන..වා.”.. පොඩිහිටියෝ කටවල් උල් කරමින් කියති.


අවුරුද්දේ ලස්සන ම, නිදහස් ම දවස් එකහමාරක නිමාව.. උදේ එකොළහ පමණ වනවිට නැවතත් අප නිවෙස් බලා පිටත් වීමට සූදානම් වන්නෙමු. ආච්චිඅම්මා මේ අතරතුර නිවසින් අතුරුදහන් වෙයි. විනාඩි දහයකින් පමණ ඈ නැවත පැමිණෙන්නේ ත්‍රීවිල් 2 ක් ද සමග ය. ඇගේ අතේ ද කුඩා මලු කිහිපයකි.


“ආ... පුතේ... මේං... ගෙදර ගිහින් කන්න “...


“මං එද්දි ආයෙත් ගෙනත් දෙන්නම්කො “...


එසේ පවසමින් ආච්චිඅම්මගේ අතේ තිබූ කුඩා මලු එක බැගින් ඈ අප අත තබයි. එහි ඇත්තේ කඩචෝරු බව අපි හොදාකාරව ම දනිමු. ත්‍රීවිල් ගාස්තුවද ඈ ගමන නිමා වෙන්නත් ප්‍රථම ගෙවා හමාර ය.


ආච්චිඅම්මාටත් සීයාටත් අපි සියල්ලෝම දණ ඔබා වදින්නෙමු. ආච්චිඅම්මාගේ අතේ එල්ලී කඩුල්ල තෙක් එන අපට ඇගෙන් මිදී නිවෙස් බලා පිටත්වීමට හිතක් නම් ඇත්තේ ම නැත. බොහෝ විට මගේ ඇස් වලට කදුළු පිරෙන වාර අනන්ත ය. ආච්චිඅම්මාටත් සීයාටත් එය එසේම ය.


“තුණුරුවන්ගෙ සරණයි... රත්නත්තරේ පිහිටයි මගෙ පුතේ “...


“මං එන්නම්කො මයෙ පුතාලව බලන්න “...


ආච්ච්අම්මා නැවතත් පන්සලේ කපු හාමිනේගේ වෙස් ගනියි.


“අනේ ..පුතේ... මගෙ ළමයින්ව පරිස්සමෙන් ගෙදරට ඇරලන්න ”.. . ත්‍රීවිල් රථ රියදුරාට ඈ කියයි.


“ආ... ඇන්ටි බය නැතුව ඉන්නකො... මං පරිස්සමට එක්කන් යන්නම් ”... ඔහු කියයි.


පොල් පැටෙව්වා හා සමානව එකා පිට එකා නැග ත්‍රීවිල් රථවලට ගොඩවෙන අප මහ ගෙදරින් සමු ගන්නෙමු. ඒ හැම මොහොතකම මට දැණුනේ හරියට ගම රට අතහැර යනවා වගේ ය. වචනවලට පෙරළිය නො හැකි අමුතු ම දුකක් හිත පතුලේ විය. නිසැකව ම ඒ අපේ පවුලේ ඇති තදබල බැදීම නිසා විය යුතු ය.


අවුරුදු සුවද සෙමින් සෙමින් ගෙවී යයි. අවුරුදු නිවාඩුවෙන් පසු නැවතත් අපි අපේ සුපුරුදු ඒකාකාරී ඡීවිතයට කොටු වන්නෙමු. ඊළග අවුරුද්දට අවුරුදු සුවද පැමිණෙන තුරු ඇගිලි ගනින්නෙමු.


ඒත්........


අපේ පවුලට නැවත ඒ අවුරුදු සුවද හැබැහින් විදීමේ වාසනාව යළි කවදාවත් නො එන බව අපි දනිමු.කෙළි සිනා කවටකම් වලින් පිරි අපේ අවුරුදු සුවද යළි කවදාවත් නැවුම් සුවදකින් පිබිදෙන්නේ නැත. එය එක් අතීතාවර්ඡනාවක සිර වුණු සුවදක් පමණක්ම ය. යළි මතක් කරමින් ඒ සුවද විදිනවා මිස හැබැහින් කවදාවත් විදිය නො හැක.


බක් මාසය අවසානයේදී අවුරුදු කුමරා පලා යන බව අප සැවොම දනිමු. එහෙත් අපේ පවුලේ අවුරුදු දෙවගන අප අතරින් සදහට ම පළා ගොස් අවසාන ය. ඇගේ සුවද , ඇගේ ආදරය, ඇගේ සෙනෙහස සියල්ල ම සදහට ම මතකයක් බවට පත්වී හමාර ය. අපේ අවුරුදු සුවද සදහට ම මළගම් ගොස් හමාර ය.


අපේ අවුරුදු සුවදට අවසානයේ දානමය පිංකමක සුවද එක් විය....


අද .... මගේ ආච්චිඅම්මාගේ වර්ෂපූර්ණ දානමය පිංකම ය...


මගේ ආදරණීය ආච්චිඅම්මේ.... ඔබට අමා මහ නිවන් සුව ම ලැබේවා....!!!!

************************************************

____________ නිමි__________________

Friday, May 17, 2013

අවුරුදු සුවද - 05 කොටස

"රෑට කන්නෙ නැද්ද ... ළමයි...නේ"...

ස්මුරුත්තාව හැදෙනකන් ම දවල් දවසේ ම වල් පල්වලින් බඩ පුරවාගෙන සිටින අපට රාත්‍රී ආහාර ගන්නවා තියා හිතන්නටවත් බැරි තරම් ය. කාගෙන් ගැලවුණත් ආච්චිඅම්මාගෙන් ගැලවීම නම් බොරු ය. උණු උණු සුදු බතට මාළු බොර හා පරිප්පු වෙයි. ආච්චිඅම්මා පොල් හා සමානව ම උම්බලකඩ වැඩියෙන් දමා ගලේ අඹරා නෑඹිලියෙන් අඩක් පිරෙන්න පොල්සම්බෝලයක් ද සාදයි. 

"අම්...මේ... කවන්න...කෝ"....

පොඩිහිටියෝ අම්මලාට ඇවිටිලි කරති. අම්මලා සිය දරුවන්ගේ ඉල්ලීම අහක දමයි නම් ඒ පුදුමයකි. අපේ අතින් බත් පිගානක් කෑමට වරුවක් ගත කරන අප, අම්මලා කවන විට විනාඩි දෙක තුනෙන් පිගාන හිස් කරන්නෙමු.



"අ...ම්....මේ.... තව බත් ටිකා.....ක්"...... බොහෝවිට පොඩිහිටියන්ගේ මුවින් පිටවෙයි.

"දැන් කන්න බෑ කියල නේද කිව්වෙ...ඈ"....

"ඔක්කොම බොරුනෙ මේ... ළමයිගෙ.... හ්ම්ම්".....



අප නැවතත් බත් ඉල්ලන්නේ බඩගින්නට නම් නොවේ. බඩ පිරුණට හිත තව ම පිරී නැති නිසාවෙනි. අම්මාගේ අතින් කවන සෑම බත් කටක ම අමුතු රසයක් වෙයි.


"ආ..ච්චි...යේ..... මට නෑඹිලියට බෙදල දෙන්නකො"... මම කියමි.



"නෑ ..නෑ... ගෑණු ළමයි නෑඹිලියෙ කන්න හොද නෑ"... ආච්චිඅම්මා හරස් කපයි.



"ආ...නේ... මොකද්ද ආ...ච්...චි..යේ".... මම නැවතත් කෙදිරි ගාමි.



"පිස්සුද කෙල්ලෙ.. නෑඹිලියෙ කෑවම මගුල් දාට වහිනවා"....



"උඔලගෙ ලොකු අම්මත් නෑඹිලියෙ කාල නා කපන වැස්සෙ තමා මගුල් කෑවෙ"...

ආච්චිඅම්මා මතකය අවදි කරමින් පැරැන්නන්ගේ විශ්වාසයක් මතු කරයි.




"හා ...එහෙනම් මට ඇතිලිය දෙන්න...කෝ" ...

මගෙන් තවත් ඇවිටිල්ලක්. මෙවර ආච්චිඅම්මාට මට එපා කීමට මම ඉඩ නො තබමි.


"ඈ... පියන්තියො.... උඹලෑ ගෙදර මේ කෙල්ලට කන්න පිගානක් නැද්ද"..... ආච්ච්අම්මා මගේ මවගෙන් සිනහවෙමින් විමසයි.



"අනේ නෑ අම්මෙ.. මේ කෙල්ලට හොදි රොස් කරපු වලදක් පේන්න බෑ"... අම්මා ද ආච්චිඅම්මගේ කතාවට හූ මිටි තබයි.


සැබැවින් ම මම හැළි වලන්වල කෑමට ප්‍රිය කළෙමි. මම පෙරේත යැයි අයෙක් කිව හැකි ය. එහෙත් වලං ගැට්ටේ ඉතිරි වී ඇත්තේ රස ම කොටස බව දන්නේ එහෙමත් අයෙක් පමණකි.


රාත්‍රී ආහාරයෙන් පසුව නැවතත් අප ආච්චිඅම්මගේ කාමරයට කොටු වෙමු. රාත්‍රී 10.00 පමණ වන තෙක් අප විවිධ ක්‍රීඩාවල නිරත වෙමු. කළු අවතාරය බය කිරීම , අතුරු මිතුරු, පොල් කැඩීම, ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම අපගේ ක්‍රීඩා ලැයිස්තුවෙන් කීපයකි.



"රෑ වෙලා හොදටම... ළ...මා...යි.... නිදාගන්නලා දැන්"...

"ඇති ඔය... නට නටා හිටිය"...



අම්මලා අඩ බෙර ගසයි. මල්ලිලා සැවොම පුංචිඅම්මාගේ ඇදට රිංගා ගනියි. බාප්පලාද හැකි අයුරින් බිම පැදුරක් දමාගෙන හෝ මල්ලිලා සමග නින්දට යයි. ලොකු අම්මලාත් පුංචිලාත් ආච්චිඅම්මාගේ කාමරයේ හා සාලයේ තැනක නින්දට යයි. සීයා කෑම කාමරයේ නිදයි. ආච්චිඅම්මා සාලයේ කෙළවරක නිදයි. මම ආච්චිඅම්මාට තුරුළු වී නිදමි.



නින්ද යාගෙන එද්දී මගේ පිටුපසින් කවුරුන් හෝ සිටිනවා මෙන් දැනී මම නැගිටිමි.



"ක...වු....ද".....

"අ...ක්..කෙ... ෂ්...ෂ්.... මේ මම අ...නේ"...



ඒ චූටි මල්ලී ය. අනෙක් අයට නින්ද යනතෙක් සිට ඔහු ආදෙකු මෙන් කාමරයෙන් ලිස්සා විත් මටත් ආච්චිඅම්මටත් තුරුළු වෙයි. පොඩි මල්ලී අතුරුදන් බව විනාඩි 5ක් යන්නට පෙර දැන ගන්නා මගේ අනෙක් මල්ලිලා තිදෙන ද එකා බැගින් විත් ආච්චිඅම්මාත් මාත් නිදන පැදුරට ගුලි වෙති. මෙවිට ආචිචිඅම්මාට ද ඇහැරෙයි.



"කොහෙද.. පුතේ මේ ... රෑ ඡාමෙ කළුවරේ ඇවිදින්නෙ"... ආචිචිඅම්මාගේ කටහඩින් අම්මලා අවදිවී විදුලි පහන් දල්වයි.



"හො...යි...යෝ.... මේ ළමයි ...කොහොමද මේ නිදන් ඉන්..නෙ"...

පොඩිහිටියෝ පැදුරේ හතර කොන බදාගෙන ය. එකෙක් ආච්චිඅම්මාගේ කකුල් දෙක උඩ ය. තවකෙක් පැදුරෙන් එළියට රෝල් වී ගොස් ය.



"නැගිටපල්ල... නැගිටපල්ල"....



"නැගිටල හරියට නිදාගන්නව...ල".... අම්මලා කියද්දී ,



"අ...නේ... බෑ....ඈඈ....... අපිටත් ආච්චි එක්ක නිදා ගන්න ඕ...නේ".... මල්ලිලා කෑ ගසයි.



පොඩිහිටියන්ගේ බලවත් පෙරැත්තයෙන් අම්මලා සාලය මැද තිබෙන පුටු මේස සියල්ල ඈත් කරමින් නිදන්නට ඉඩකඩ සකස් කර දෙයි. අපි ඉක්මනින් ආච්චිඅම්මාගේ චීත්ත 6ක් 7ක් උස්සාගෙන එන්නෙමු. චීත්ත එක පෙලට බිම අතුරා අපේ සුව පහසු යහනාවන් සාදා එහි සැතපෙන්නෙමු.



ආච්චිඅම්මා , මම , චූටි මල්ලි (තරබාරු) , පොඩි මල්ලි (සඡියා) , ලොකු මල්ලිලා (තරිදුවා , සුපුනා ) සහ මගේ අම්මා , ලොකු අම්මලා , පුංචිලා වමේ සිට දකුණු පෙදෙසට පිළිවෙලින් පෝලිමට නිදති. රෙදි කඩක් පමණක් බිම එළා නිදා ගැනීමෙන් ශරීරයට දැනෙන සුව පහසුකම ගැන පැවසීමට වදන් නැත. පැය දෙකක් තුනක් පසුවන විට ඇටකටු හතරට පහට කැඩුවා හා සමාන ය. එහෙත් එහි වූ වින්දනය වේදනාවට වඩා ප්‍රභල විය. 

Wednesday, May 1, 2013

අවුරුදු සුවඳ - 04 කොටස

"ළමා....යි.... අද මූණක් කටක් හෝදගන්න උවමනාවක් නැද්ද.... ඈ"..... 

රාත්‍රී 8.00 පසු වෙද්දී අපේ අම්මලාගේ හඩ අවදි වෙයි. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් දොර උළුවහු ගනිමින් අප ඇග පත සෝදා ගැනීමට සූදානම් වන්නෙමු. මෙසේ ඈලි මෑලිකම් දැක්වූයේ වෙන කිසිවකටවත් නොවේ. පිරිසිදු වූ පසුව අපට ඕනෑ විදියට දගලන්නට විදියක් කිසිසේත් නොලැබෙන නිසාවෙනි.


"මේ ළමයි කෝ... කෙල්ලනේ... අර ළමයි තනියම ළිදට දුවලද කොහෙද"... 


"හවස් ඡාමෙන් පස්සෙ තනියෙන් ළිදට යන්න එපා කිව්වට අහනවද ඉතිං ... කොච්චර කීවත් වගක් නැති හැටි"...

ආච්චිඅම්මා මොර දෙයි.




"අ..ම්...මේ... හඩු ගද.... දාඩිය වක්කරගෙන ඉන්නයි තවත් හැදුවෙ"....

"සත්තු වගේ... වන ඡීවී ඩිපාර්ට්මන්ට් එක"...



රෙදි අපුල්ලන්නාක් මෙන් පොල් කොහු මිටකින් අම්මලා සිය දරුවන්ව ළිද ළග දමාගෙන බැණ වදිමින් අපුල්ලයි. ඇග සේදීමෙන් පසු සැබෑවට ම අප වන ඡීවී තත්ත්වයෙන් මිදෙන්නෙමු. ආච්චිඅම්මාගේ රාණි සදුන් සබන් කැටයේ හා ගෝයා පුයර වල සුවද නාස් පුඩු හාරාගෙන යයි.



"මේ ළමයි දිහා දැන් මනුස්සයෙක්ට බලන්න පුළුවන්" ...


නැවතත් අප සුශිලාචාර විනීත දරුවන් බවට පත්වන්නෙමු. දවසේ වැදගත් ම කාර්යභාරය ඉටු කිරීම ඇරඹෙන්නෙ මෙවිටදී ය.



"ළමයි... ආච්චිටයි සීයටයි බුලත් දෙන්න ලෑස්ති වෙන්න"..



අම්මලා තෑගි පාර්සල් දෙක බැගින් අප අත තබයි. සෑම අවුරුද්දක ම මමත් අම්මාත් අවුරුද්දකට සතියකට පෙර මහරගම හන්දියෙන් ආච්චිඅම්මාට මල් වැටුණ චීත්තයකුත් සීයාට ඉරි වැටුණු තුන්පොට සරමකුත් මිලදී ගන්නෙමු.



බුලත් හුරුල්ලට යටින් බ්‍රවුන් පේපර් බෑගයක දමා සූදානම් කළ අවුරුදු තෑගි තබමින් පොඩිහිටියෝ තරගෙට පළමුව සීයාටත් දෙවනුව ආච්චිඅම්මාටත් බුලත් දී දණ ඔබා වදින්නට පටන් ගනියි. පළමු අවස්ථාව හිමි වන්නේ මට ය.



"රත්නත්තරේ පිහිටයි .... මගෙ ... දරුවෝ"....



සීයාගේ දෙපා අල්ලනවාත් සමග ම ඔහුගේ දෙඅත ම මගේ හිස මත තබා ඔහු පවසයි. සැබැවින් ම සීයා මට පියෙකි. මා නැගිටුවා ඔහු මා හට තව තවත් සෙත් පතයි. නැවූ බුලත් කොළයක් ඔහු මා අත තබයි. එහි රුපියල් සියයක් වෙයි. දෙවනුව ආචිචිඅම්මාට ද බුලත් දී දණ ඔබා වදිමි.



"තුණුරුවන්ගේ සරණයි.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි... ආරක්ෂාවයි"..

"තව තවත් බුද්ධිය පහල වෙන්න ඕන"..

"කිසිම දුක් කරදරයක් .. අතුරු ආ...න්තරාවක් නොවේවා"...

"ඡයෙන් ඡය ම ලැබේවා"....



පන්සලේ කපු හාමිනේ මෙන් ආච්චිඅම්මා වැරහුණු දෑත් වලින් හිස පිරිමදිමින් කියාගෙන කියාගෙන යයි. ඒ සමග ම ඉනේ ගසාගෙන සිටින හැඹිළිය අතට ගන්නා ඇය බුලත් කොළයක නැවූ රුපියල් සියයකුත් වෙන ම තවත් රුපියල් පනහකුත් මගේ අත තබයි.



"මෙච්චර එපා ආ..ච්...චි...යේ".... මම කියමි.



"ඕක අම්මට පෙන්නන්න ඕන නෑ... මොනාහරි ආස දෙයක් අරන් කන්ට".... ආචිචිඅම්මා මගේ කණට කර පවසයි.



මේ අතරතුර පොඩිහිටියෝ බිම පෙරළි පෙරළි වදිති. විටෙක බුලත් අතේ උල් වූ අගිස් පැත්ත දික් කරයි.



"ඔහොම නෙමෙයි ...පුතේ... මේ...න්...න මෙහෙ...ම"



සීයාත් ආචිචිත් හරි වැරදි අපූරුවට කියා දෙයි. සෑම දරුවෙකුට ම බුලත් කොළයක නැවූ සුළු මුදලක් අත තැබීමට ඔවුන් දෙපළ අමතක නො කළේය. වැඩිහිටියෝද පිළිවෙලින් සීයටත් ආච්චිඅම්මාටත් බුලත් දී වදිති.



"අම්මෙ.. අ...ම්...මේ.... චුට්ටක් ඉන්න...කෝ.... ආ....නේ"......



"ගෙදරදි හරියට වදින්නත් බැරි වුණා...නේ"....

පොඩිහිටියන් තම දෙමව්පිය වැඩිහිටියන් සොයා ගොස් හතර ගාතෙන් ම වැද වැටෙති.



"ඔව් ඔව්... ඉතිං"...



"වදින තරමට උඹලගෙ සාක්කුව පිරෙන නිසා වදියි ඉතිං..... තෙරුවන් සරණයි මගෙ පුතේ"...



එක එකා වැද වැටෙන ගානේ වැඩිහිටියෝ සිනාමුසු මුහුණින් කියති. එවිට අපේ මුවින් :

"හැමදාම නෑ... හැම තැන ම නෑ"...

යනුවෙන් වාචාල යමක් පිටවෙයි. සැබැවින් ම බුලත් දීමෙන් අනතුරුව අපගේ විනෝදාංශය තමන් සතු බුලත්කොළ වල නවා ඇති මුදල් ගනන් කිරීම ය.



"චැක්... අපරා....දේ.... හැමදාම අවුරුදු නැත්තෙ".... පොඩි මල්ලි කියයි.



"හොද වෙලාවට.. නැත්තන් හැමදාම අපිව සුද්ද කරයි"...

පොඩි මල්ලිගේ කතාව ඇසුණු පුංචිඅම්මා කියයි.



දරුවන්ගෙන් වැදුම් පිදුම් ලබන මොහොතේ සීයාගේත් ආච්චිඅම්මාගේත් දෑස් මොහොතින් තෙත් වී යයි. ඒ දෑස් තුළ පිරී ඇත්තේ අප වෙනුවෙන් පිරී ඉතිරී යන ගිනිය නොහැකි, මැනිය නො හැකි වූ අපමණ ආදරය හා සෙනෙහසයි. අපට ලෝකයේ ලැබිය හැකි අපමණ සුවය ඇත්තේ ඔවුන් ළග ය. එමෙන් ම ඔවුන්ගේ සිත් සතුට සොම්නසින් පිරී ඇත්තේ අප ඔවුන් ළග ගැවසෙන විට ය.



අවුරුදු සුවද - 05 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න