Search This Blog

Wednesday, December 4, 2013

නොනිමෙන පහනක් - 01 කොටස

කාමරයට පිටින් වූ බැල්කනියට පිවිසි මම එහි වූ කොට බිත්තියට දෑත් ඔබාගෙන ඈත මුහුද දෙසින් හමාගෙන එන සිහිල් සුළගට හදවත විවර කළේ , හිතේ වූ මහා බර එක මොහොතකට හෝ සැහැල්ලු කර ගැනීමට මෙනි. විටෙක මේ ගෙවෙන දවස් කිහිපය හරියට මුහුදට ගිලා බහින ඉර වගේ යැයි ඒ දෙස බලා සිටින මට සිතිණ. නොදැනීම ඇස් වලට වැලි ගැසුවාක් මෙන් කැපි කැපී කදුළු කැට එකක් පසුපස එකක් කම්මුල් දිගේ ගලන්නට විය. 

“පු..තේ... මගේ .. පුතේ”.... 

ඒ අම්මාගේ කට හඬ ය.

“ඇයි ... අම්මේ... අ..ම්...මට ...අමාරුයි ද” ? ඉක්මණින් කඳුළු පිසදාගත් මම අම්මා නිදා සිටි ඇද ළගට දිව ගියෙමි.

“ම්..ම්..හ්..හ්.. මගේ පුතා.. කෑ..වද “?

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මවකි. මරණ මන්චකයේදීත් දරුවන් වෙනුවෙන් උණු වන හිතක් වේ නම් එය හිමි අම්මා කෙනෙකුට ම පමණකි.

“ඔව්.. අම්මේ... ම.....මං .. කෑව”....

අම්මගේ හිත හදන්න මම බොරුවක් කීවෙමි. කෑමක් තියා වතුර උගුරක් උගුරින් පහළට වැටෙන්නේ නැත. එහෙත් අම්මාගේ හිත තලන්න තරම් හයියක් ද මට නැත. නොදැනුවත් කමින් අම්මාගේ හිත රිදුන වාර ගැන අද මට ම මගේ ගැන විටෙක කලකිරෙයි. අම්මා කෙනෙකුට තම දරුවන්ගේ හොර අල්ලා ගැනීමට මහ කාලයක් ගත වන්නේ නැත.

“කෝ... කෑම ටික.. මගෙ ලගට වෙලා ක...න්න ගෙනල්..ල”...

“අම්ම කනවනම්.... මා...ත්... ක...න්...න...ම්”...


ආසිරි සෙන්ට්රකල් රෝහලේ B ඛාණ්ඩයේ දෙවෙනි මහලේ 314 කාමරයේ ගෙවෙන 4 වන දවස ය. ජිවිත පොතේ පරිච්ච්ජේද මේ තරම් ඉක්මණින්, මේ තරම් වෙනස් විදියට ලියවෙන්නේ කොහොමද ? අවුරුද්දකට පසු, මීට දවස් 7 කට කළින් අසනීපයෙන් පෙළුණු මගේ අම්මාත් සමග මම ලංකාවට පය තැබුවෙමි. ඉන් දින 5 කට පසු මගේ අම්මා රෝහල්ගත කෙරිණි. දින දෙකකට පෙර මරණාසන්නව සිටි මගේ අම්මා අද හුස්ම පොදක් ඉහළට අදින වාරයක් පාසා ම මගේ හිත සිය දහස් වාරයක් සතුටින් පිරෙයි. එහෙත් තව නොබෝ දිනකින් ශල්ය කර්මයකට යොමු කරන බව මතක් වීමත් සමග ම ඒ පිරුණු සතුට ක්ෂණයකින් පහව යයි.

ඒ කෙසේ වෙතත් එක දෙයක් ගැන පමණක් මම ආයාසයෙන් සතුටු වීමි. අවුරුදු 6ක් නිදහසේ වචනයක් කතා කරන්න තරම්වත් කාලයක් නොතිබුණු අපට, අද ඒ සඳහා කාලය උපරිමෙන් ම කාලය ම ලබා දී ඇත. මුළු රෑම අම්මගේ ළගට වී ඇගේ අත අල්ලාගෙන සිටීමටවත් මම වාසනාවන්ත වීමි.


වෙලාව රාත්‍රී 10 පමණ විය. අම්මා; ඇඳ ලග පුටුවට වකුටු වී සිටි මා ඇමතීය.

“පු..තේ... ටිකක් නිදා ගන්න... මන් හොදින් ඉන්නව...නේ”..

“නෑ.. නෑ.. ඕනේ නෑ.. මන් අම්මගේ ළග ඉන්නව.. මට මෙහෙම හොදයි...
අම්ම නිදා ගන්..න...කො”....

“මට නින්ද යන්නේ නෑ... පු... තේ... නිදි මතක් නැහැ"..

“අම්ම අද දවසෙම නිදිනේ... ඒ නිසා වෙන්න ඇති.. ටි.වී එක ටිකක් දාල දෙන්නද බලන්න” ?

“අ..පෝ එ..පා”...

“එ..හෙ..න...ම්... අම්මගේ පුංචි කාලේ කරපු දේවල් ටිකක් කියන්..න.. නින්ද යනකන්”..

අම්මගේ ළමා කාලය ඒ තරම් සුන්දර ය. ඇගේ අතීත සිදුවීම් අසා සිටීම මගේ ප්රි යතම විනෝදාංශ වලින් එකකි. වරක් නොව දස දහස් වරක් වුවද ඒවා අසා රස විඳිය හැකි ය.


“හ්..ම්..ම්..ම්... අ..ද මං ... අද වෙනකන් කවදා..වත් නොකිව්ව දෙයක් කියන්නම්”...

“ක..ව..දා..ව..ත් නොකිව්ව දෙයක්” ... ?... “අම්ම මට හැම දේම කියල තියෙනව...නේ”..

“ඔව්.. ඒ..ත් මේක කිව්වේ නෑ ම..ම”...

කෙටි නිහඩතාවක් පැතිරිණ. හිතට නැගී දාහක් දේ පසෙක තබා මම යලි හඬ අවදි කළෙමි.


“ඉ..ති..න් ඇයි අම්ම අද ඒ දේ කියන්න හිතුවේ” ?

“ඒ..කට හේතුව මං අන්තිමට කියන්නම්”...


ඇත්තටම අම්මා මේ කියන්න යන්නේ මොකක්ද ? මොන වගේ දෙයක් ද ? කවුරු ගැන ද? දහසක් ප්‍රශ්න  හිතේ තියාගෙන ම මම අම්මගෙන් පළමු වචනය පිට වන තෙක් බලා සිටියෙමි.