Search This Blog

Wednesday, December 4, 2013

නොනිමෙන පහනක් - 01 කොටස

කාමරයට පිටින් වූ බැල්කනියට පිවිසි මම එහි වූ කොට බිත්තියට දෑත් ඔබාගෙන ඈත මුහුද දෙසින් හමාගෙන එන සිහිල් සුළගට හදවත විවර කළේ , හිතේ වූ මහා බර එක මොහොතකට හෝ සැහැල්ලු කර ගැනීමට මෙනි. විටෙක මේ ගෙවෙන දවස් කිහිපය හරියට මුහුදට ගිලා බහින ඉර වගේ යැයි ඒ දෙස බලා සිටින මට සිතිණ. නොදැනීම ඇස් වලට වැලි ගැසුවාක් මෙන් කැපි කැපී කදුළු කැට එකක් පසුපස එකක් කම්මුල් දිගේ ගලන්නට විය. 

“පු..තේ... මගේ .. පුතේ”.... 

ඒ අම්මාගේ කට හඬ ය.

“ඇයි ... අම්මේ... අ..ම්...මට ...අමාරුයි ද” ? ඉක්මණින් කඳුළු පිසදාගත් මම අම්මා නිදා සිටි ඇද ළගට දිව ගියෙමි.

“ම්..ම්..හ්..හ්.. මගේ පුතා.. කෑ..වද “?

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය මවකි. මරණ මන්චකයේදීත් දරුවන් වෙනුවෙන් උණු වන හිතක් වේ නම් එය හිමි අම්මා කෙනෙකුට ම පමණකි.

“ඔව්.. අම්මේ... ම.....මං .. කෑව”....

අම්මගේ හිත හදන්න මම බොරුවක් කීවෙමි. කෑමක් තියා වතුර උගුරක් උගුරින් පහළට වැටෙන්නේ නැත. එහෙත් අම්මාගේ හිත තලන්න තරම් හයියක් ද මට නැත. නොදැනුවත් කමින් අම්මාගේ හිත රිදුන වාර ගැන අද මට ම මගේ ගැන විටෙක කලකිරෙයි. අම්මා කෙනෙකුට තම දරුවන්ගේ හොර අල්ලා ගැනීමට මහ කාලයක් ගත වන්නේ නැත.

“කෝ... කෑම ටික.. මගෙ ලගට වෙලා ක...න්න ගෙනල්..ල”...

“අම්ම කනවනම්.... මා...ත්... ක...න්...න...ම්”...


ආසිරි සෙන්ට්රකල් රෝහලේ B ඛාණ්ඩයේ දෙවෙනි මහලේ 314 කාමරයේ ගෙවෙන 4 වන දවස ය. ජිවිත පොතේ පරිච්ච්ජේද මේ තරම් ඉක්මණින්, මේ තරම් වෙනස් විදියට ලියවෙන්නේ කොහොමද ? අවුරුද්දකට පසු, මීට දවස් 7 කට කළින් අසනීපයෙන් පෙළුණු මගේ අම්මාත් සමග මම ලංකාවට පය තැබුවෙමි. ඉන් දින 5 කට පසු මගේ අම්මා රෝහල්ගත කෙරිණි. දින දෙකකට පෙර මරණාසන්නව සිටි මගේ අම්මා අද හුස්ම පොදක් ඉහළට අදින වාරයක් පාසා ම මගේ හිත සිය දහස් වාරයක් සතුටින් පිරෙයි. එහෙත් තව නොබෝ දිනකින් ශල්ය කර්මයකට යොමු කරන බව මතක් වීමත් සමග ම ඒ පිරුණු සතුට ක්ෂණයකින් පහව යයි.

ඒ කෙසේ වෙතත් එක දෙයක් ගැන පමණක් මම ආයාසයෙන් සතුටු වීමි. අවුරුදු 6ක් නිදහසේ වචනයක් කතා කරන්න තරම්වත් කාලයක් නොතිබුණු අපට, අද ඒ සඳහා කාලය උපරිමෙන් ම කාලය ම ලබා දී ඇත. මුළු රෑම අම්මගේ ළගට වී ඇගේ අත අල්ලාගෙන සිටීමටවත් මම වාසනාවන්ත වීමි.


වෙලාව රාත්‍රී 10 පමණ විය. අම්මා; ඇඳ ලග පුටුවට වකුටු වී සිටි මා ඇමතීය.

“පු..තේ... ටිකක් නිදා ගන්න... මන් හොදින් ඉන්නව...නේ”..

“නෑ.. නෑ.. ඕනේ නෑ.. මන් අම්මගේ ළග ඉන්නව.. මට මෙහෙම හොදයි...
අම්ම නිදා ගන්..න...කො”....

“මට නින්ද යන්නේ නෑ... පු... තේ... නිදි මතක් නැහැ"..

“අම්ම අද දවසෙම නිදිනේ... ඒ නිසා වෙන්න ඇති.. ටි.වී එක ටිකක් දාල දෙන්නද බලන්න” ?

“අ..පෝ එ..පා”...

“එ..හෙ..න...ම්... අම්මගේ පුංචි කාලේ කරපු දේවල් ටිකක් කියන්..න.. නින්ද යනකන්”..

අම්මගේ ළමා කාලය ඒ තරම් සුන්දර ය. ඇගේ අතීත සිදුවීම් අසා සිටීම මගේ ප්රි යතම විනෝදාංශ වලින් එකකි. වරක් නොව දස දහස් වරක් වුවද ඒවා අසා රස විඳිය හැකි ය.


“හ්..ම්..ම්..ම්... අ..ද මං ... අද වෙනකන් කවදා..වත් නොකිව්ව දෙයක් කියන්නම්”...

“ක..ව..දා..ව..ත් නොකිව්ව දෙයක්” ... ?... “අම්ම මට හැම දේම කියල තියෙනව...නේ”..

“ඔව්.. ඒ..ත් මේක කිව්වේ නෑ ම..ම”...

කෙටි නිහඩතාවක් පැතිරිණ. හිතට නැගී දාහක් දේ පසෙක තබා මම යලි හඬ අවදි කළෙමි.


“ඉ..ති..න් ඇයි අම්ම අද ඒ දේ කියන්න හිතුවේ” ?

“ඒ..කට හේතුව මං අන්තිමට කියන්නම්”...


ඇත්තටම අම්මා මේ කියන්න යන්නේ මොකක්ද ? මොන වගේ දෙයක් ද ? කවුරු ගැන ද? දහසක් ප්‍රශ්න  හිතේ තියාගෙන ම මම අම්මගෙන් පළමු වචනය පිට වන තෙක් බලා සිටියෙමි.

Monday, May 27, 2013

අවුරුදු සුවද - 06 (අවසාන) කොටස

“ළමයි...නේ... නැගිටින්නල දැන්.. ඔය මදෑ නිදා ගත්ත”... 

“තේ ටික ඇල් වතුර වෙලා”...


“හා හා.. කෝ ඉතිං.”.. 


“රෑ තිස්සේ නිදාගන්නැතුව නාඩගං නටනවනෙ ”...


පස්ස පැත්තට ඉර එළිය වැටෙනකන් සාලයේ මහ පොළොව බදාගෙන නිදන අපට ආච්චිඅම්මා විටින්
 විට විත් අප අවදි කිරීමට බලවත් ප්‍රයත්නයක යෙදෙයි.


“ආ...නේ... තව චුට්ටක් නිදා ගන්න දෙන්න...කෝ”.... මූණවල් කොට්ටවල ඔබා ගනිමින් පොඩිහිටියෝ කියති.


“ළ...මා...යි... නැගිටල මූණ කට හෝදගෙන යන්න ලෑස්ති වෙන්නල ”..


අම්මලාගේ සීනුව නාද වෙයි. මෙවිටදී නම් අවනත වීමට අකමැත්තෙන් වුවත් සිදුවේ. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් නිදි ගැට කඩමින් ඇස් බාගෙට පියවමින් අප නිදා ගත් කොට්ට පැදුරු අකුලන්නෙමු. ළිදෙන් අදින සීතල වතුර බාල්දියකින් සරුවාංගෙම නාවනකන් ඈලි මෑලි ගතිය නැති වෙනවානම් බොරු ය.


“මගෙ අම්...මේ... ඡාති ගො..ඩා...යි.”..


තේ බී අහවර වනවාත් සමග ම ආච්චිඅම්මා කෑම පිරවූ පිගන් අප අත තබයි. ඉදිආප්ප, ආප්ප, රෝල්ස් , කිරිබත් ආදීයෙන් පිගාන පිරිලා ය. ඒ සියල්ල ගිල දමන අපට සීයා බේකරියෙන් ගෙනාපු උණු උණු කිඹුල බනිස් ගෙඩියක් ද ලැබේ.


“පුතේ... දැන් කන්න බැරිනම් ඕක ගෙදර ගිහින් කන්න තියා ගන්න ”... අම්මලා කියද්දී,


“නෑ ...නෑ.. බඩේ තව ඉඩ තියෙන..වා.”.. පොඩිහිටියෝ කටවල් උල් කරමින් කියති.


අවුරුද්දේ ලස්සන ම, නිදහස් ම දවස් එකහමාරක නිමාව.. උදේ එකොළහ පමණ වනවිට නැවතත් අප නිවෙස් බලා පිටත් වීමට සූදානම් වන්නෙමු. ආච්චිඅම්මා මේ අතරතුර නිවසින් අතුරුදහන් වෙයි. විනාඩි දහයකින් පමණ ඈ නැවත පැමිණෙන්නේ ත්‍රීවිල් 2 ක් ද සමග ය. ඇගේ අතේ ද කුඩා මලු කිහිපයකි.


“ආ... පුතේ... මේං... ගෙදර ගිහින් කන්න “...


“මං එද්දි ආයෙත් ගෙනත් දෙන්නම්කො “...


එසේ පවසමින් ආච්චිඅම්මගේ අතේ තිබූ කුඩා මලු එක බැගින් ඈ අප අත තබයි. එහි ඇත්තේ කඩචෝරු බව අපි හොදාකාරව ම දනිමු. ත්‍රීවිල් ගාස්තුවද ඈ ගමන නිමා වෙන්නත් ප්‍රථම ගෙවා හමාර ය.


ආච්චිඅම්මාටත් සීයාටත් අපි සියල්ලෝම දණ ඔබා වදින්නෙමු. ආච්චිඅම්මාගේ අතේ එල්ලී කඩුල්ල තෙක් එන අපට ඇගෙන් මිදී නිවෙස් බලා පිටත්වීමට හිතක් නම් ඇත්තේ ම නැත. බොහෝ විට මගේ ඇස් වලට කදුළු පිරෙන වාර අනන්ත ය. ආච්චිඅම්මාටත් සීයාටත් එය එසේම ය.


“තුණුරුවන්ගෙ සරණයි... රත්නත්තරේ පිහිටයි මගෙ පුතේ “...


“මං එන්නම්කො මයෙ පුතාලව බලන්න “...


ආච්ච්අම්මා නැවතත් පන්සලේ කපු හාමිනේගේ වෙස් ගනියි.


“අනේ ..පුතේ... මගෙ ළමයින්ව පරිස්සමෙන් ගෙදරට ඇරලන්න ”.. . ත්‍රීවිල් රථ රියදුරාට ඈ කියයි.


“ආ... ඇන්ටි බය නැතුව ඉන්නකො... මං පරිස්සමට එක්කන් යන්නම් ”... ඔහු කියයි.


පොල් පැටෙව්වා හා සමානව එකා පිට එකා නැග ත්‍රීවිල් රථවලට ගොඩවෙන අප මහ ගෙදරින් සමු ගන්නෙමු. ඒ හැම මොහොතකම මට දැණුනේ හරියට ගම රට අතහැර යනවා වගේ ය. වචනවලට පෙරළිය නො හැකි අමුතු ම දුකක් හිත පතුලේ විය. නිසැකව ම ඒ අපේ පවුලේ ඇති තදබල බැදීම නිසා විය යුතු ය.


අවුරුදු සුවද සෙමින් සෙමින් ගෙවී යයි. අවුරුදු නිවාඩුවෙන් පසු නැවතත් අපි අපේ සුපුරුදු ඒකාකාරී ඡීවිතයට කොටු වන්නෙමු. ඊළග අවුරුද්දට අවුරුදු සුවද පැමිණෙන තුරු ඇගිලි ගනින්නෙමු.


ඒත්........


අපේ පවුලට නැවත ඒ අවුරුදු සුවද හැබැහින් විදීමේ වාසනාව යළි කවදාවත් නො එන බව අපි දනිමු.කෙළි සිනා කවටකම් වලින් පිරි අපේ අවුරුදු සුවද යළි කවදාවත් නැවුම් සුවදකින් පිබිදෙන්නේ නැත. එය එක් අතීතාවර්ඡනාවක සිර වුණු සුවදක් පමණක්ම ය. යළි මතක් කරමින් ඒ සුවද විදිනවා මිස හැබැහින් කවදාවත් විදිය නො හැක.


බක් මාසය අවසානයේදී අවුරුදු කුමරා පලා යන බව අප සැවොම දනිමු. එහෙත් අපේ පවුලේ අවුරුදු දෙවගන අප අතරින් සදහට ම පළා ගොස් අවසාන ය. ඇගේ සුවද , ඇගේ ආදරය, ඇගේ සෙනෙහස සියල්ල ම සදහට ම මතකයක් බවට පත්වී හමාර ය. අපේ අවුරුදු සුවද සදහට ම මළගම් ගොස් හමාර ය.


අපේ අවුරුදු සුවදට අවසානයේ දානමය පිංකමක සුවද එක් විය....


අද .... මගේ ආච්චිඅම්මාගේ වර්ෂපූර්ණ දානමය පිංකම ය...


මගේ ආදරණීය ආච්චිඅම්මේ.... ඔබට අමා මහ නිවන් සුව ම ලැබේවා....!!!!

************************************************

____________ නිමි__________________

Friday, May 17, 2013

අවුරුදු සුවද - 05 කොටස

"රෑට කන්නෙ නැද්ද ... ළමයි...නේ"...

ස්මුරුත්තාව හැදෙනකන් ම දවල් දවසේ ම වල් පල්වලින් බඩ පුරවාගෙන සිටින අපට රාත්‍රී ආහාර ගන්නවා තියා හිතන්නටවත් බැරි තරම් ය. කාගෙන් ගැලවුණත් ආච්චිඅම්මාගෙන් ගැලවීම නම් බොරු ය. උණු උණු සුදු බතට මාළු බොර හා පරිප්පු වෙයි. ආච්චිඅම්මා පොල් හා සමානව ම උම්බලකඩ වැඩියෙන් දමා ගලේ අඹරා නෑඹිලියෙන් අඩක් පිරෙන්න පොල්සම්බෝලයක් ද සාදයි. 

"අම්...මේ... කවන්න...කෝ"....

පොඩිහිටියෝ අම්මලාට ඇවිටිලි කරති. අම්මලා සිය දරුවන්ගේ ඉල්ලීම අහක දමයි නම් ඒ පුදුමයකි. අපේ අතින් බත් පිගානක් කෑමට වරුවක් ගත කරන අප, අම්මලා කවන විට විනාඩි දෙක තුනෙන් පිගාන හිස් කරන්නෙමු.



"අ...ම්....මේ.... තව බත් ටිකා.....ක්"...... බොහෝවිට පොඩිහිටියන්ගේ මුවින් පිටවෙයි.

"දැන් කන්න බෑ කියල නේද කිව්වෙ...ඈ"....

"ඔක්කොම බොරුනෙ මේ... ළමයිගෙ.... හ්ම්ම්".....



අප නැවතත් බත් ඉල්ලන්නේ බඩගින්නට නම් නොවේ. බඩ පිරුණට හිත තව ම පිරී නැති නිසාවෙනි. අම්මාගේ අතින් කවන සෑම බත් කටක ම අමුතු රසයක් වෙයි.


"ආ..ච්චි...යේ..... මට නෑඹිලියට බෙදල දෙන්නකො"... මම කියමි.



"නෑ ..නෑ... ගෑණු ළමයි නෑඹිලියෙ කන්න හොද නෑ"... ආච්චිඅම්මා හරස් කපයි.



"ආ...නේ... මොකද්ද ආ...ච්...චි..යේ".... මම නැවතත් කෙදිරි ගාමි.



"පිස්සුද කෙල්ලෙ.. නෑඹිලියෙ කෑවම මගුල් දාට වහිනවා"....



"උඔලගෙ ලොකු අම්මත් නෑඹිලියෙ කාල නා කපන වැස්සෙ තමා මගුල් කෑවෙ"...

ආච්චිඅම්මා මතකය අවදි කරමින් පැරැන්නන්ගේ විශ්වාසයක් මතු කරයි.




"හා ...එහෙනම් මට ඇතිලිය දෙන්න...කෝ" ...

මගෙන් තවත් ඇවිටිල්ලක්. මෙවර ආච්චිඅම්මාට මට එපා කීමට මම ඉඩ නො තබමි.


"ඈ... පියන්තියො.... උඹලෑ ගෙදර මේ කෙල්ලට කන්න පිගානක් නැද්ද"..... ආච්ච්අම්මා මගේ මවගෙන් සිනහවෙමින් විමසයි.



"අනේ නෑ අම්මෙ.. මේ කෙල්ලට හොදි රොස් කරපු වලදක් පේන්න බෑ"... අම්මා ද ආච්චිඅම්මගේ කතාවට හූ මිටි තබයි.


සැබැවින් ම මම හැළි වලන්වල කෑමට ප්‍රිය කළෙමි. මම පෙරේත යැයි අයෙක් කිව හැකි ය. එහෙත් වලං ගැට්ටේ ඉතිරි වී ඇත්තේ රස ම කොටස බව දන්නේ එහෙමත් අයෙක් පමණකි.


රාත්‍රී ආහාරයෙන් පසුව නැවතත් අප ආච්චිඅම්මගේ කාමරයට කොටු වෙමු. රාත්‍රී 10.00 පමණ වන තෙක් අප විවිධ ක්‍රීඩාවල නිරත වෙමු. කළු අවතාරය බය කිරීම , අතුරු මිතුරු, පොල් කැඩීම, ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම අපගේ ක්‍රීඩා ලැයිස්තුවෙන් කීපයකි.



"රෑ වෙලා හොදටම... ළ...මා...යි.... නිදාගන්නලා දැන්"...

"ඇති ඔය... නට නටා හිටිය"...



අම්මලා අඩ බෙර ගසයි. මල්ලිලා සැවොම පුංචිඅම්මාගේ ඇදට රිංගා ගනියි. බාප්පලාද හැකි අයුරින් බිම පැදුරක් දමාගෙන හෝ මල්ලිලා සමග නින්දට යයි. ලොකු අම්මලාත් පුංචිලාත් ආච්චිඅම්මාගේ කාමරයේ හා සාලයේ තැනක නින්දට යයි. සීයා කෑම කාමරයේ නිදයි. ආච්චිඅම්මා සාලයේ කෙළවරක නිදයි. මම ආච්චිඅම්මාට තුරුළු වී නිදමි.



නින්ද යාගෙන එද්දී මගේ පිටුපසින් කවුරුන් හෝ සිටිනවා මෙන් දැනී මම නැගිටිමි.



"ක...වු....ද".....

"අ...ක්..කෙ... ෂ්...ෂ්.... මේ මම අ...නේ"...



ඒ චූටි මල්ලී ය. අනෙක් අයට නින්ද යනතෙක් සිට ඔහු ආදෙකු මෙන් කාමරයෙන් ලිස්සා විත් මටත් ආච්චිඅම්මටත් තුරුළු වෙයි. පොඩි මල්ලී අතුරුදන් බව විනාඩි 5ක් යන්නට පෙර දැන ගන්නා මගේ අනෙක් මල්ලිලා තිදෙන ද එකා බැගින් විත් ආච්චිඅම්මාත් මාත් නිදන පැදුරට ගුලි වෙති. මෙවිට ආචිචිඅම්මාට ද ඇහැරෙයි.



"කොහෙද.. පුතේ මේ ... රෑ ඡාමෙ කළුවරේ ඇවිදින්නෙ"... ආචිචිඅම්මාගේ කටහඩින් අම්මලා අවදිවී විදුලි පහන් දල්වයි.



"හො...යි...යෝ.... මේ ළමයි ...කොහොමද මේ නිදන් ඉන්..නෙ"...

පොඩිහිටියෝ පැදුරේ හතර කොන බදාගෙන ය. එකෙක් ආච්චිඅම්මාගේ කකුල් දෙක උඩ ය. තවකෙක් පැදුරෙන් එළියට රෝල් වී ගොස් ය.



"නැගිටපල්ල... නැගිටපල්ල"....



"නැගිටල හරියට නිදාගන්නව...ල".... අම්මලා කියද්දී ,



"අ...නේ... බෑ....ඈඈ....... අපිටත් ආච්චි එක්ක නිදා ගන්න ඕ...නේ".... මල්ලිලා කෑ ගසයි.



පොඩිහිටියන්ගේ බලවත් පෙරැත්තයෙන් අම්මලා සාලය මැද තිබෙන පුටු මේස සියල්ල ඈත් කරමින් නිදන්නට ඉඩකඩ සකස් කර දෙයි. අපි ඉක්මනින් ආච්චිඅම්මාගේ චීත්ත 6ක් 7ක් උස්සාගෙන එන්නෙමු. චීත්ත එක පෙලට බිම අතුරා අපේ සුව පහසු යහනාවන් සාදා එහි සැතපෙන්නෙමු.



ආච්චිඅම්මා , මම , චූටි මල්ලි (තරබාරු) , පොඩි මල්ලි (සඡියා) , ලොකු මල්ලිලා (තරිදුවා , සුපුනා ) සහ මගේ අම්මා , ලොකු අම්මලා , පුංචිලා වමේ සිට දකුණු පෙදෙසට පිළිවෙලින් පෝලිමට නිදති. රෙදි කඩක් පමණක් බිම එළා නිදා ගැනීමෙන් ශරීරයට දැනෙන සුව පහසුකම ගැන පැවසීමට වදන් නැත. පැය දෙකක් තුනක් පසුවන විට ඇටකටු හතරට පහට කැඩුවා හා සමාන ය. එහෙත් එහි වූ වින්දනය වේදනාවට වඩා ප්‍රභල විය. 

Wednesday, May 1, 2013

අවුරුදු සුවඳ - 04 කොටස

"ළමා....යි.... අද මූණක් කටක් හෝදගන්න උවමනාවක් නැද්ද.... ඈ"..... 

රාත්‍රී 8.00 පසු වෙද්දී අපේ අම්මලාගේ හඩ අවදි වෙයි. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් දොර උළුවහු ගනිමින් අප ඇග පත සෝදා ගැනීමට සූදානම් වන්නෙමු. මෙසේ ඈලි මෑලිකම් දැක්වූයේ වෙන කිසිවකටවත් නොවේ. පිරිසිදු වූ පසුව අපට ඕනෑ විදියට දගලන්නට විදියක් කිසිසේත් නොලැබෙන නිසාවෙනි.


"මේ ළමයි කෝ... කෙල්ලනේ... අර ළමයි තනියම ළිදට දුවලද කොහෙද"... 


"හවස් ඡාමෙන් පස්සෙ තනියෙන් ළිදට යන්න එපා කිව්වට අහනවද ඉතිං ... කොච්චර කීවත් වගක් නැති හැටි"...

ආච්චිඅම්මා මොර දෙයි.




"අ..ම්...මේ... හඩු ගද.... දාඩිය වක්කරගෙන ඉන්නයි තවත් හැදුවෙ"....

"සත්තු වගේ... වන ඡීවී ඩිපාර්ට්මන්ට් එක"...



රෙදි අපුල්ලන්නාක් මෙන් පොල් කොහු මිටකින් අම්මලා සිය දරුවන්ව ළිද ළග දමාගෙන බැණ වදිමින් අපුල්ලයි. ඇග සේදීමෙන් පසු සැබෑවට ම අප වන ඡීවී තත්ත්වයෙන් මිදෙන්නෙමු. ආච්චිඅම්මාගේ රාණි සදුන් සබන් කැටයේ හා ගෝයා පුයර වල සුවද නාස් පුඩු හාරාගෙන යයි.



"මේ ළමයි දිහා දැන් මනුස්සයෙක්ට බලන්න පුළුවන්" ...


නැවතත් අප සුශිලාචාර විනීත දරුවන් බවට පත්වන්නෙමු. දවසේ වැදගත් ම කාර්යභාරය ඉටු කිරීම ඇරඹෙන්නෙ මෙවිටදී ය.



"ළමයි... ආච්චිටයි සීයටයි බුලත් දෙන්න ලෑස්ති වෙන්න"..



අම්මලා තෑගි පාර්සල් දෙක බැගින් අප අත තබයි. සෑම අවුරුද්දක ම මමත් අම්මාත් අවුරුද්දකට සතියකට පෙර මහරගම හන්දියෙන් ආච්චිඅම්මාට මල් වැටුණ චීත්තයකුත් සීයාට ඉරි වැටුණු තුන්පොට සරමකුත් මිලදී ගන්නෙමු.



බුලත් හුරුල්ලට යටින් බ්‍රවුන් පේපර් බෑගයක දමා සූදානම් කළ අවුරුදු තෑගි තබමින් පොඩිහිටියෝ තරගෙට පළමුව සීයාටත් දෙවනුව ආච්චිඅම්මාටත් බුලත් දී දණ ඔබා වදින්නට පටන් ගනියි. පළමු අවස්ථාව හිමි වන්නේ මට ය.



"රත්නත්තරේ පිහිටයි .... මගෙ ... දරුවෝ"....



සීයාගේ දෙපා අල්ලනවාත් සමග ම ඔහුගේ දෙඅත ම මගේ හිස මත තබා ඔහු පවසයි. සැබැවින් ම සීයා මට පියෙකි. මා නැගිටුවා ඔහු මා හට තව තවත් සෙත් පතයි. නැවූ බුලත් කොළයක් ඔහු මා අත තබයි. එහි රුපියල් සියයක් වෙයි. දෙවනුව ආචිචිඅම්මාට ද බුලත් දී දණ ඔබා වදිමි.



"තුණුරුවන්ගේ සරණයි.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි... ආරක්ෂාවයි"..

"තව තවත් බුද්ධිය පහල වෙන්න ඕන"..

"කිසිම දුක් කරදරයක් .. අතුරු ආ...න්තරාවක් නොවේවා"...

"ඡයෙන් ඡය ම ලැබේවා"....



පන්සලේ කපු හාමිනේ මෙන් ආච්චිඅම්මා වැරහුණු දෑත් වලින් හිස පිරිමදිමින් කියාගෙන කියාගෙන යයි. ඒ සමග ම ඉනේ ගසාගෙන සිටින හැඹිළිය අතට ගන්නා ඇය බුලත් කොළයක නැවූ රුපියල් සියයකුත් වෙන ම තවත් රුපියල් පනහකුත් මගේ අත තබයි.



"මෙච්චර එපා ආ..ච්...චි...යේ".... මම කියමි.



"ඕක අම්මට පෙන්නන්න ඕන නෑ... මොනාහරි ආස දෙයක් අරන් කන්ට".... ආචිචිඅම්මා මගේ කණට කර පවසයි.



මේ අතරතුර පොඩිහිටියෝ බිම පෙරළි පෙරළි වදිති. විටෙක බුලත් අතේ උල් වූ අගිස් පැත්ත දික් කරයි.



"ඔහොම නෙමෙයි ...පුතේ... මේ...න්...න මෙහෙ...ම"



සීයාත් ආචිචිත් හරි වැරදි අපූරුවට කියා දෙයි. සෑම දරුවෙකුට ම බුලත් කොළයක නැවූ සුළු මුදලක් අත තැබීමට ඔවුන් දෙපළ අමතක නො කළේය. වැඩිහිටියෝද පිළිවෙලින් සීයටත් ආච්චිඅම්මාටත් බුලත් දී වදිති.



"අම්මෙ.. අ...ම්...මේ.... චුට්ටක් ඉන්න...කෝ.... ආ....නේ"......



"ගෙදරදි හරියට වදින්නත් බැරි වුණා...නේ"....

පොඩිහිටියන් තම දෙමව්පිය වැඩිහිටියන් සොයා ගොස් හතර ගාතෙන් ම වැද වැටෙති.



"ඔව් ඔව්... ඉතිං"...



"වදින තරමට උඹලගෙ සාක්කුව පිරෙන නිසා වදියි ඉතිං..... තෙරුවන් සරණයි මගෙ පුතේ"...



එක එකා වැද වැටෙන ගානේ වැඩිහිටියෝ සිනාමුසු මුහුණින් කියති. එවිට අපේ මුවින් :

"හැමදාම නෑ... හැම තැන ම නෑ"...

යනුවෙන් වාචාල යමක් පිටවෙයි. සැබැවින් ම බුලත් දීමෙන් අනතුරුව අපගේ විනෝදාංශය තමන් සතු බුලත්කොළ වල නවා ඇති මුදල් ගනන් කිරීම ය.



"චැක්... අපරා....දේ.... හැමදාම අවුරුදු නැත්තෙ".... පොඩි මල්ලි කියයි.



"හොද වෙලාවට.. නැත්තන් හැමදාම අපිව සුද්ද කරයි"...

පොඩි මල්ලිගේ කතාව ඇසුණු පුංචිඅම්මා කියයි.



දරුවන්ගෙන් වැදුම් පිදුම් ලබන මොහොතේ සීයාගේත් ආච්චිඅම්මාගේත් දෑස් මොහොතින් තෙත් වී යයි. ඒ දෑස් තුළ පිරී ඇත්තේ අප වෙනුවෙන් පිරී ඉතිරී යන ගිනිය නොහැකි, මැනිය නො හැකි වූ අපමණ ආදරය හා සෙනෙහසයි. අපට ලෝකයේ ලැබිය හැකි අපමණ සුවය ඇත්තේ ඔවුන් ළග ය. එමෙන් ම ඔවුන්ගේ සිත් සතුට සොම්නසින් පිරී ඇත්තේ අප ඔවුන් ළග ගැවසෙන විට ය.



අවුරුදු සුවද - 05 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න




අවුරුදු සුවද - 03 කොටස

"අපෝ මේ මදි ... තව මොනාහරි හොයන් එන්න ගිහින්"... මම මල්ලිලාට විධාන දෙමි.

"අ..ක්...කේ.... මේං තව 2ක් හොයා ගත්....තෝ".... 

මගේ සහෝදර පාර්ශවයෙන් දෙයක් ඉල්ලුව සැණින් ලබා ගත හැකිය.


අපගේ වාර්ෂික සංගීත ප්‍රසංගයේ පූර්ව සූදානම හා පෙරහුරුව ඇරඹෙයි. ටින් බෙලෙක්ක , බාල්දි, පියන්, පොල්කටු , හැදි යනාදී අඩුම කුඩුම පොඩිහිටි අපේ සංගීත ප්‍රසංගයේ වාද්‍ය භාණ්ඩ බවට පත්වෙයි.



ටිං ටිං ටිං... ටොන් ටොන්... දඩ බඩ... ටක් ටක්... චිස්..... ඩුම්ම්ම්.....

ටෙස්ටින්ග් වන්... ටෙස්ටින්ග් වන්...



සියල්ල සූදානම්... අඩුපාඩුවකට ඇත්තේ ගායක ගායිකාවන් පමණි. වැඩිහිටි සියළු දෙන නිවස ඉදිරිපස නමිනං ගස හා අඹ ගස යටට වී වට මේසයක් දමා ගනියි. ඒ අතරතුර මගේ ආච්චිඅම්මාගේ තේ පැන් සංග්‍රහය ද පිළිගැන්වෙයි.



"ළමයිනේ.. ළ..මා...යි... මේ ඇවිත් තේ බීල හිටින්නල"....



ආච්චිඅම්මා අප සිටින කාමරයට විටින් විට එබිකම් පාමින් මොර දෙයි. උගුරට දෙකට තේ කෝප්ප හිස් කරන අප නැවතත් ආච්චිඅම්මගේ කාමරයට රැස් වන්නෙමු.



"ලොකු මල්ලි... ගිහින් පුංචිට එන්න කියන්නකො"..



ඒ ආරාධනය ප්‍රධාන ගායිකාව වන මගේ අම්මාටයි. බලවත් පෙරැත්ත කිරීම හමුවේ අම්මාට අපගේ ඉල්ලීමට කර ඇරිය ‍නොහැකි වෙයි. පළමු ගීතය හිමිවන්නේ පොඩිහිටියන්ට ය.



සැළලිහිනි කොවුල් හඩ... රැව් දෙන්නා...



ආදර්ශමත් ළමා පරපුරක් මෙන් අප ළමා ගීතයකින් සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නෙමු. මගේ අම්මාද අප හා එක්වෙයි.



දෙවන, තෙවන ගීතය ගැයෙන අතරතුර අනෙක් වැඩිහිටියන්ද එකා බැගින් කාමරය අරක් ගනියි. අපේ ළමා කම කැලේ පනින්නේ මෙවිටදී ය. ආදර ගීත, විරහ ගීත, බයිලා එක පෙළට නන් ස්ටොප් ගලාගෙන යයි.



"අප්...පෝ.... බේස් මදි .... අ...යි...යෝ"....



මියුසික් එක බොක්කට ම වදින්නත් සංගීතය නැගල යන්නත් බේස් ඩ්‍රම් එකක් වුවමනා ම ය. මම ලද අවස්ථාවෙන් ප්‍රයෝඡන ගනිමි. මේ සදහා ආච්චිගේ අල්මාරිය තරම් ගැළපෙන්නක් තවත් නැත. බිත්තියටත් අල්මාරියටත් අතර ඇති ඉඩට රිංගන මම තාලයට අල්මාරියට තඩි බාන්නට පටන් ගනිමි.



මැද භාගයේදී සුපිරි මහා සංගීත ප්‍රසංගයක සෑම ළකුණක් ම හිමි අපේ කණ්ඩායමේ ප්‍රියත ම ගීතය පටන් ගැනෙයි.



අමර පෙම් ලතාවේ... රන් මලක් උදාවේ.....



මේ අතරතුර මගේ සීයාත් ආච්චි අම්මාත් සාලයේ ඇදිපුටු දෙකක දිගා වී අපේ මියුරු සංගීතයේ රසය නිදහසේ විදියි.



"ආ..ච්...චි...යේ... එන්නකො අනේ සිංදුවක් කියන්න"....

ආච්චිඅම්මාත් අප හා එක්වෙයි.



මනරම් ... රැගුමන්...



ආච්චිඅම්මා සැමදෙන පරයන ගීත කෝකිලාවියකි. සැබැවින් ම ඈ රුවෙන් හා හඩින් ලතා වල්පොල මහත්මියට සමානතාවක් දැක්වූවා ය.



මුළු පළාත ම දෙවනත් කරමින් පුරා හෝරා තුනක් හතරක් පැවැත්වෙන සංගීතය අහවර වන්නේ රාත්‍රී 8 ට පමණ ය. ආච්චි අම්මාගේ කාමරයෙන් අප සියලුදෙන නික්මෙන්නේ තැම්බූ කුකුළන් මෙනි. අත පය ලේ වී ඉදිමී සමහරවිට පතුරු ගොසිනි.



"හයි..යෝ.... මේ ළමයිගෙ හැටි"....



"නලනියො... පියන්තියො... චුක්කියො"....... ආච්චිඅම්මා අපේ අම්මලාගේ නම් පිළිවෙලින් අමතයි.



"බලාපල්ල.... මේ .... ළමයි කොරගෙන තියෙන හදියක්"...



ආච්චි අම්මාගේ ආදරය සෙනෙහස ඒ සෑම වචනයක ම නො අඩුව ගැබ් වීය. ඇයට මෙන්ම ඇගේ නාරායන තෙල් බෝතලයට ද පින් දිය යුතුය. සියළු වේදනාවල් එක් තෙල් බිදකින් වාෂ්ප වී යයි.




මේ සියළු දගකාරකම්වලින් වේදනාවල් එමට නො දැනුණා ම නොවේ. එහෙත් ඒ කිසිදු වේදනාවකින් අපේ වින්දනය යටපත් කළ නොහැකි විය. ඡීවිතය තිබෙන තාක්කල් අමතක නො වන මතක රැසක් පොදි බැදුණේ අපටත් නො දැනීම ය. 




අවුරුදු සුවද - 04 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න

Tuesday, April 30, 2013

අවුරුදු සුවද - 02 කොටස

විහිළු තහළු , කවටකම් වලින් මහ ගෙදර පිරී ඉතිරී යයි. මගේ අම්මා සහ ඇගේ සහෝදරියන් හතරදෙනා විටින් විට කොක්හඩලා සිනාසෙයි. එය ළිද ළග සංගමයකට හපන් ය. 


"මගෙ අම්මේ .. උඔලගෙ කටවල්වල සද්දෙ"..... 


ආච්චි අම්මා මුහුණට නො රිස්සුම් ගතියක් ආරූඩ කර ගන්නට උත්සාහ කළත් එය ව්‍යර්ථ වී යයි. කෙසේ වෙතත් ඈ ඒ සියල්ලකට ම ආදරේ කළ තරම් ඇගේ දෑස් දුටු සැණින් ඕනෑම කෙනෙකුට කිව හැකිවෙයි. 


ආච්චිඅම්මාගේ ආදරය සෙනෙහස සීමා වූයේ අපට පමණක් නොවේ. වත්ත පහල කඩුල්ල අසල නිතර ම පාහේ පුංචි පාද 4ක් 6ක් එහෙ මෙහෙ යනවා දැකීම සුලබ දසුනක් විය. අවට විසූ සෑම පුංචි දරුවෙකුට ම ඈ අසීමිතව ආදරය කළා ය. 



"ආච්චියේ.... මෙන්න කවුද ඇවිල්ලෝ ".... 



එහෙටත් මෙහෙටත් ඇඔරෙමින් බිම බලාගෙන වැලි කැට ගනින පුංචි උන් දුටු විගස ආච්චිඅම්මාට වහා සැල කරන පණිවුඩකරුවන් අපි වෙමු. ක්ෂණයකින් ඈ කඩුල්ල වෙත ඉගිල්ලෙයි. ආහාර පිරවූ කුඩා මලු කිහිපයක් ඒ සෑම දරුවෙකුගේ ම අත තබයි. මගේ අත්තම්මාගේ අතින් බත් කටක් නොකෑ අයෙක් ගමේ වෙයිනම් එය අරුමයකි. 



"කෝ අප්පා.... කොයි වෙලාවටද පටන් ගන්නෙ"... 



"අම්...මේ.... එන්න...කෝ".... ආ....නේ"....

පොඩිහිටියන් එක ම ගාලගෝට්ටියක... 



පවුලේ අවුරුදු උත්සවය ඇරඹෙයි. ප්‍රධාන තරග සංවිධායක මගේ අම්මායි. තරග ලැයිස්තුවට බනිස් කෑම, යෝගට් කැවීම, ඉදිකටුවට නූල දැමීම, අලියාට ඇස තැබීම, ගෝනි පැනීම, බාධක දිවීම , කණාමුට්ටිය ආදී තරග රැසක් ඇතුළත් වේ. මේ සියල්ල සාමාන්‍ය තරග වුවත් සියල්ල ම පාහේ නවක වදයට සමානය. බනිස් වෙනුවට පරණ පාන් කැවීම, බයිසිකල් පොම්පයකින්වත් පිම්බිය නො හැකි බැලුම් පිපිරවීමට සිදුවීම ඒ අතරින් කිහිපයකි. 



"ළමයිනේ... අයියෝ..... මම ඊයෙ අලුතින් මිදුලට අතුරපු බොරළු ටික" ... 



මගේ ලොකු අම්මා තරග අස්සේ ඉදලක් අතැතිව ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙයි.



"මම කිව්ව උඹලට ඕක දිරල කියල.. කෝ ඇහුවද"... 

"ඇති ඔයින් ගියා ... හතර හන්දි කඩාගන් නැතුව"... 

"චුක්කියො.. ගෙනෙන් රෙදි පටියක්වත්".. 



දිරච්ච ලණුවකින් කඔ ඇදීමෙන් ලෙලි පතුරු යවාගත් වැඩිහිටියන්ට ආච්චිගෙන් වාග් ප්‍රහාර එල්ලවෙයි.

 

"කුරුම්බැට්ටියක් උරිච්චි කරල ගෑවම හරි අම්මේ".... 

පුංචි සන්දියේ මතකය අළුත් කරමින් පුංචි අම්මා කියයි. 


කෙසේ වෙතත් ආචිචිඅම්මාත් සීයාත් අපටත් වඩා දරු මුණුබුරන්ගේ මෙවන් හැසිරීම් දැකීමෙන් අපමණ සතුටක් වින්දෝය. ඔවුන් දෙපළ තම පවුලේ එකමුතුකමට වැඩි කිසිවක් බලාපොරොත්තු නොවූහ. 



ඇත්තෙන්ම අවුරුද්දේ නියම අරුත මේ එකමුතුකම නොවෙද ...


අවුරුදු සුවද - 03 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න






අවුරුදු සුවද - 01 කොටස

" හප්පොචිචියේ... මගෙ අවුරුදු කුමාරිගෙ හැඩ... 

ඇස් වහක් කට වහක් වදින්නෙපා මගෙ සුදු නෝනට".... 


වත්ත පහල කඩුල්ල පනින්නත් කළින් පෙරමගට දුවන් එන මගේ ආච්චිඅම්මගේ වැහැරුණු පුංචි අත්දෙක මගේ හිසේ සිට දෙපතුල දක්වා තුන් හතර වතාවක් ඉහල පහළ යයි. 


"මං ලස්සනයිද ආච්චියේ .. ? අම්ම තමයි මහල දුන්නෙ"... 



තව තවත් මං ලස්සන යැයි ඇසීමේ බලවත් ආශාවෙන් නැවත වරක් අසමි. ආච්චිඅම්මා ආදරෙන් මගේ මුහුණ සිඹ මා තුරුල් කර ගනියි. මම ඇගේ වැඩිමහල් මිණිබිරියයි. 



මේ සියලුම ඇගයීම මගේ අම්මාට හිමිවිය යුතු යැයි මගේ අදහසයි. 



මගේ සිත එකවරම සතියක් ආපස්සට දිව යයි. අළුත් අවුරුදු සමයේ මහරගම නගරයට නම් ඇගිල්ලක් ගහන්නවත් බැරි තරම්. 



"එකහමාරක් සීයයි... එකහමාරක් සීයයි"... 



පදික වේදිකාවේ චීත්ත රෙදි යාර එකහමාරක් රුපියල් සීයට විකිණෙයි. පුංචි පුංචි මල් වැටුණ චීත්ත රෙද්දකින් බෝරිච්චි අත් දමා ගිනිකූරු රැළි තබා අම්මා මසන ගවුම් පොඩිත්තට මම වහ වැටුණා හා සමානයි. සමහරවිට ඒ අවුරුද්දට ම මට ලැබෙන එක ම අළුත් ඇදුම නිසා වෙන්න ඇති. ආච්චිඅම්මාගේ වචනවලින් මගේ ආසාව තව තවත් වැඩිවූවා මිස අඩුවක් නම් වු‍ණේ නෑ.. 



ආච්චිඅම්මාටත් සීයටත් කවරදාටත් වඩා වැඩ අධික දවසක්.. 



අපේ සම්පූර්ණ පවුලේ සාමාඡිකයින් 16 දෙනෙක් වෙයි.මම හැරෙන්නට තවත් මුණුබුරන් 4 දෙනෙක් හා එක් මිණිබිරියක් මගේ ආච්චිඅම්මා හා සීයා සතුවෙයි. හිසතෙල් ගාන දිනයේ උදේ රැයින් ම හැම දෙනාම මහ ගෙදරට එකතු වුණේ හරියට මී වදයට රොක් වෙන මී මැහි පොදියක් වගේ.



ගෙට ගොඩවෙනවාත් සමග ම ආච්චිඅම්මාගේ දෙපාවලට නිවනක් නැතිවෙයි. එහෙටත් මෙහෙටත් දුවමින් තේ මේසය ලෑස්ති කරයි. ඇගේ කිසිවකට කිසිම කෙනෙකුට අත ගැසීමට ඈ ඉඩ නො තබයි.



ඇගේ කෙසෙල් කොළේ තවාපු කිරිබතට වඩා මා ආශා කළේ උම්බලකඩ පරාලයක් දමා ගලේ අඹරන ලුණු මිරිසටයි. ඊට අමතරව කොකිස්, මුං කැවුම්, කොන්ඩ කැවුම්, අළුවා, ආස්මී, කෙසෙල් ආදී බොහෝ දේ එහි වෙයි.


තේ බී හමාර වනවාත් සමග ම ආච්චිඅම්මා මගේ අතින් ඇදගෙන ගොස් ඇගේ නිදන කාමරයට රිංගයි. වෙන කිසිවෙකුට ඒ අහල පහලවත් කැරකෙන්නට ඉඩක් නැත. 



" අම්මේ සුවද "..... 



තවත් මට කට පියාගෙන සිටිය නොහැක. ආච්චිගේ අච්චාරු මුට්ටියේ සුවද නාස්ගුල් හාරගෙන ආමාශයට ම කිදා බසියි. ආච්චිඅම්මා ඇද ළග දණ ගසා ඇගේ ගබඩා කාමරය පෙන්වයි. අච්චාරු මුට්ටියට අමතරව ඇගේ ගබඩාවේ තවත් බොහෝ කැවිලි පෙවිලි වෙයි. මැටි මුට්ටිවල වෙන වෙනම අතුරා කටවල් ගැටගසා අපූරුවට සියලුම දේ නරක් නො වන ලෙස තැන්පත් කිරීමට ඇයට වඩා වෙන කිසිවෙක් සමත් නැත.



මම ආච්චිගේ ගබඩාවේ රස පරීක්ෂක වෙමි. අච්චාරුවේ ලුණු ඇඹුල් බැලීම , ආස්මී වල රටා සැසදීම හා රස බැලීම යනාදී බොහෝ දේ මට හිමිවෙයි. මේ සියල්ලම මට ආච්චිඅම්මා සමග වැඩ අල්ලනවා හා සමාන ය.. 



දවල් ආහාරය ද ඇගේ අතින් ම සැකසෙයි. කහ බත්, මාළු ඇඹුල් තියල්, අල බැදුම, සලාදය, පරිප්පු, කට්ලට්, පපඩම්, අච්චාරු යනාදී බොහෝ දේයින් කෑම මේසය පිරෙයි. 



"අම්මෝ... ඇති ආච්චියේ... තව නම් බෑ "... 



කොච්චර එපා කිව්වත් ආචිචිගෙන් බේරිල්ලක් නැත.


මේ අතරතුර ප්‍රශ්න පත්තරයකට උත්තර බැදීමට මට සිදුවෙයි.



"මිරිස් වැඩිද පුතේ.... දැවිල්ල වැඩි ද" ?

 

"හොද්ද තව ටිකක් බොර වුණානම් හොද ද මන්ද... කොහෙද උඹලගෙ ලොකුඅම්ම එක්ක කොරන්ට පුළුවන්ද"... 



"කෑම රස ද සුදු නෝන" ?.... 



බඩ කළයක් තරම් දික් කරගෙන පැයක් හමාරක් පුටුවක දිගා වන්නට තරම් අකරතැබ්බයකට මුහුණ පෑමට පවුලේ හැම දෙනාට ම සිදුවෙයි. 



" ආච්චි අතගෑවත් ඇති... මා...ර රසයි ".... 



ඇගේ දෑස් දිලිසෙයි. අපේ මුවින් එවන් වදනක් ආච්චිඅම්මා බලාපොරොත්තු වූ බව මා හොදාකාරව ම දැන සිටියෙමි.