Search This Blog

Saturday, June 13, 2015

නො නිමෙන පහණක් - 04 කොටස

මීදුම කපාගෙන හිරු කිරණ රන් දිය දහරක් මෙන් හරිත ලතාවන් හා ධරණී මාතාව සිපගන්නට විය. තණ අග රැඳී පිනි බිඳු හිරු රැසින් දීප්තිමත්ව දිලිසෙන්නට විය. මුව වසා සිටි පුෂ්පලතාවන් විකසිතව කුරුළු ගී නඳින් මත්වී හිරු කිරණට පෙම් බඳිද්දී, ඔවුන්ගේ රූ සපුවට වහ වැටුණු පෙම්වතුන් වන බඹර, මී මැසි කැළ එක පොදියට තම නොයිඳුල් පෙම්වතියන්ගේ මුව සිපගැනීමේ බලවත් ආශාවෙන් මෙන් ඔවුන් කරා ඇදෙන්නට විය.

හිමිදිරි අරුණැල්ලත් සමඟ පිබිදුණු සියලුම සිසු සිසුවියෝ තම ගමනේ ප්‍රධාන ම අරමුණ හිතැතිව ලහි ලහියේ සූදානම් වන්නට විය. තරඟ පැවැත්වීමට නියමිතව තිබුණේ ඔවුන් ලැගුම්ගත් පාසලට නුදුරින් වූ බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ය. උදෑසන 8.30 වන විට තරග ස්ථානයට වාර්තා කළ යුතු විය. නීති රීති පරිදි සියලුම නැටුම් කණ්ඩායම් නියමිත වෙලාවටත් පෙර තරග ස්ථානයට වාර්තා කෙරිණ.

“ද..රු..ව...නේ... හැමදේම කල්පනාවෙන්... ජජ් බෝඩ් එක ලේසි නෑ... ඒ උණාට... බය වෙන්න එපා.. ඔයාලට බැරි නෑ.. තමුන්ගේ ටික තමුන් හරියට කරන්න.. අනුන් කරන දේවල් ගැන වද වෙන්න එපා.. එතකොට කිසි දෙයක් අවුල් වෙන්නේ නෑ.. අන්තිමට හිතුවටත් වැඩිය හොඳට හැමදේම කරලා කියල තේරෙයි... ඔයාලට ම"....

තිලකා මිස් සිසුවියන්ගේ ධෛර්යය වඩවන්නට විය.

පෙරවරු 10.00 වන විට තරගය ආරම්භ විය. කණ්ඩායමට තෙවනුව නැටුම් ඉදිරිපත් කිරීම සදහා අනුමැතිය ලැබිණි. දිවයිනේ දසතින් පැමිණි පාසල් 14ක් තරගය සදහා ඉදිරිපත් වීමට නියමිත විය. කොළඹ ප්‍රධාන පෙලේ පාසල් දෙකක් ද මේ අතර විය.

පළමුව සහ දෙවනුව තරගයට ඉදිරිපත් වුණු පාසල් කණ්ඩායම් දෙකේ ම ඉදිරිපත් කිරීම සෑහෙන තරමට සාර්ථක විය. වේදිකාවේ පසුපස සිටි සිසුවියන් 16 දෙනාගේ ම හිත් අශ්ව ගාලක් කඩාගෙන බිඳගෙන දුවන්නාක් මෙන් ගැහෙන්නට විය.

"දරුව...නේ.. යන්න ස්ටේජ් එකට.. තෙරුවන් සරණයි... දෙවියන්..ගේ පිහිටයි".... වේදිකා පසුතල නිර්මාණ භාරව කටයුතු කළ සෙනෙවිරත්න මිස් කීවා ය.

සිසුවියෝ සියලු දෙනාම ගුරුවරුන්ගේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගත් අතර හිතේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වේදිකාවට පිවිසුණෝ ය. සියල්ලෝම මොහොතකට තම දෑස් අඩවන් කර ගනිමින් තෙරුවන් සිහි කරන්නට විය. මෙතැන් පටන් ඉදිරි විනාඩි 20 ක කාලය අතරතුර වෙන කිසිවක් නොව ඔවුන් තම රංග බුමිකාව වෙත සිත් යොමු කල යුතු ය. කණ්ඩායමේ තරග තේමාව ලෙස යොදා ගැනුණේ ගජගා වන්නම සහ හටන් නැටුමක සංකලනයකි.

පුරා විනාඩි 20ක කාලය තුල ඔවුන් සියල්ලෝම සිටියේ තම භූමිකාව ආරූඪ කරගෙන ය. විනිශ්චය මණ්ඩලය ඔවුන්ගේ නර්තනය පිළිබඳ ඉතා ප්‍රසන්න හැඟුමෙන් කතා බහට ලක් කරන්නට විය. කාලය විනාඩි, හෝරා ලෙසින් ගෙවී ගියේ ය. සියලුම පාසල් තම ප්‍රතිඵල දැන ගැනීමේ බලවත් ආසාවත් හිතැතිව තරගය අවසන් වන තෙක් මුව අයා බලා සිටියෝ ය.

සවස 3.30 පමණ විය. ඒ වන විට තරගයේ ප්‍රතිඵල සකස් වෙමින් තිබිණ. අවසානයේ සියල්ලෝම බලා සිටි එම තීරණාත්මක අවස්ථාව එළඹී ය. විනිශ්චය මණ්ඩලය තම නිර්ණයන් ඉදිරිපත් කරන්නට සැරසුණේ ය.

"අද දවසේ... පාසල් 14ක ...ඉදිරිපත් කිරීම් අතරින්... සමස්ථ ලංකා නැටුම් තරඟාවලියේ.... ප්‍රථම ස්ථානය හිමි වන්නේ......."....

එය එසේ ම විය. දක්ෂතාවය පසෙක ළා නාමය සහ බලය රජ විය. ප්‍රථම ස්ථානය හිමි වුයේ කොළඹ ප්‍රධාන පාසලකට ය.

"මන් නම්... හිතුව ඕක... දැක්කේ නැද්ද ආව වෙලේ ඉදල ජජ් බෝඩ් එක වටේ කැරකුණ හැටි ටීචර්ස්ල ටික"..
ප්‍රතිඵල නිකුත් වනවාත් සමග ම බොහෝ දෙනාගේ මුව රැදුනේ එවන් වදනකි.

"අපෝ.. දැන් ඉතින් වැඩක් නෑ.. අපි කොච්චර මහන්සි වුණාද"... නයනා ද මුහුණ හකුළුවා ගත්තා ය.

"එහෙම කියන්න එපා දරුව..නේ.. තව ප්ලේසස් දෙකක් ම තියෙනවා..නේ".. සේකර සර් බලාපොරොත්තු දැල්වුණ දෑසින් යුක්තව කියන්නට විය.

සැබෑ ම ය. ගුරුවරයකුගේ ඉව වරදින්නේ එහෙමත් වෙලාවක පමණ ය. දෙවන ස්ථානය හිමි වුයේ ඔවුන්ට ය.

"මො...න....වා... ඒ අපේ ඉස්කෝලේ නම නේද කිව්වේ.... හුරේ... අ...පි දි...නු...ම්"...
සිසුවියන් සතුටින් ඉපිල ගියේ මී පැණි දුටු වලස් රංචුවක් මෙනි.

"පළවෙනි තැන නැති වුණාට මොකෝ... අපි ඉතින් එක වුණා වගේ තමා"... මානෙල් ද හවුල් විය.

සිසුවියන් සියල්ලෝම යළිත් තම ගුරුවරයන් වූ තිලකා මිස්ගේත්, සෙනෙවිරත්න මිස්ගේත්, සේකර සර්ගේත් දෙපා වැඳ ආශිර්වාද ලබා ගත්තෝ ය. ඔවුන් සියලු දෙනාගේ ම දෑස් සතුටු කදුළින් දිලිසෙන්නට විය. ගාම්භිරත්වයකින් හිත පුරවාගත් ඔවුන් සියලු දෙනාම නැවතත් තම ගම රට බලා පිටත් වීමට සැරසුනෝ ය.

***********************************************************
(මතු සම්බන්ධයි )
*****************************************

නො නිමෙන පහණක් - 03 කොටස

උදෑසන  7.45 ට පිටත් වුණු දුම්රිය , බණ්ඩාරවෙල ප්‍රධාන  දුම්රිය ස්ථානය වෙත ළඟා වන විට සවස 6.00 ට පමණ ආසන්නව තිබිණ. එතැන් සිට බණ්ඩාරවෙල, කිණිගම දුම්රිය ස්ථානය දක්වා වෙනත් දුම්රියකින් ගමන් ගැනීමට ඔවුන්ට සිදු විය. සමස්ත ලංකා නැටුම් තරඟාවලිය සඳහා පැමිණෙන සියලුම පාසල් කණ්ඩායම් වලට නවාතැන් ලැබුනේ කිණිගම  මධ්‍ය  මහා විද්‍යාලයේ ය.

සවස 7.00 පමණ වන විට ඔවුන් කිණිගම දුම්රියපළ වෙත ලඟා විය. හාත්පස අඳුර හා සමානව ම මීදුම පැතිරෙන්නට විය. විටින් විට හමා යන සුළගින් නැගුණ මද සීතලෙන් ඇඟ පත කිළිපොලා යන්නට විය.

“අ...ම්..මෝ... හිතුවට වැඩිය මෙහෙ මා...ර... සීතලයි...නේ”....

ඒ දෑත් පිරිමැද කම්මුල් මත ස්පර්ශ කර ගනිමින් උණුසුම් වීමට තැත් කරන නයනා ය. මේ අතර සේකර සර්ගේ හඬ අවදි විය.

“ළමයිනේ.. ඉක්මන් කරන්න.. තවත් කළුවර වෙන්න කලින් අපි ඉස්කෝලෙට යන්න බලමු.. පයින් යන්නත් එපැයි” ..

කිණිගම දුම්රියපළින් පිට වනවාත් සමග ම ඉදිරිපසින් පෙනෙන කුඩා කඳු ගැටයක් මුදුනේ කිණිගම මධ්‍ය  මහා විද්‍යාලය  පිහිටියේ ය. සීතලත්, අඳුරත් මැඩගෙන තවලම් පැටෙව්වාක් මෙන් සියලුම බඩු මුට්ටු සමග කණ්ඩායම කඳු ගැටය තරණය  කරන්නට පටන් ගත්තේ ය.

“ම..ට නම් ත...ව  බෑ..ඈ ... අයියෝ... අම්මේ.... අපොයි බෑ.... බෑ. ..ඈ....ඈ”...

මඳ දුරක් ගිය සයුරි හතර ගාතෙන් ම හිටි තැන ම තත්පලන් දමාගෙන බිම වාඩි විය.

“තව ටිකයි දරුවෝ.. වැඩි දුරක් නෑ.. කෝ ... ළමයි.. සයුරිට උදව් කරන්න”…. බෙර දෙකක් කර පින්නාගෙන සිටි සෙනෙවිරත්න මිස් කිවා ය.

“සයුරි.. නැගිටිනවකෝ.,.. මේ අපිත් යන්නේ.. එක දවසකට බූරු පැටියෙක් වෙන්න බැරි ද” ?
නයනාගේ කියවිල්ලට හැම දෙනාම සිනාසෙන්නට විය.

“කෝ... අත ..දෙන්න”... මානෙල් සයුරි ට උදව් කළා ය. නයනා ද ඉදිරිපත් විය.

කෙසේ හෝ සියලු දෙනාම පාසල වෙත ලඟා විය. ඒ වනවිටත් පාසල් 10කින් පමණ පැමිණි කණ්ඩායම් එහි පන්ති කාමරවල ලැගුම්ගෙන තිබිණ. මොවුන්ට හිමි වුයේ 9B පන්ති කාමරයයි. කාමරයට ඇතුළු වුණු විගස ඇඟේ පටවාගෙන සිටි බඩු බාහිරාදිය සියල්ල ම බිම පතිත කළ සිසුවියෝ තැන් තැන්වල වැටි ගිමන් හරින්නට විය.

ටික වෙලාවකට පසු,

“නයනා... එනවද යන්න ගමනක්”... ? මානෙල් ඇසුවා ය.

“කොහෙද”.. ?

“ඇහෙන්නේ නැද්ද.. සද්...දේ”.... ?

“කෝ... මොක...ක්..ද”... ? නයනා විපරම් කරන්නට විය. මොහොතකින්,

“මොකක්ද ඒ හෝ... ගා...න... සද්දේ”... ?

“එන්නකෝ.. යන්න... තිලකා මිසුත් එනවා අපිත් එක්ක”...

පාසල් වත්ත කෙලවර වනවාත් සමග ම එහි කුඩා දිය ඇල්ලක් විය. තිලකා මිස්ගෙන් මුහුණ කට සෝදා ගැනීමට පමණක් සිසුවියන්ට අවසර ලැබිණි.

“මා..නෙ...ල්.... මා... නෙ... ල්.... පිස්සුද ළමයෝ.... මේ මහ රෑ... කට්ට සීතලේ නාන්...නේ...
ලෙඩක් හැදුනොත් එහෙම... හෙට නටන්න නෙමෙයි වෙන්නෙ .. ඉස්පිරිතාලෙ නවතින්න”...

තිලකා මිස් ඇස් උඩ තියාගෙන බෙරිහන් තලන්නට විය.

ගුරුවරියක් වශයෙන් ඇයගේ මේ හැසිරීම සියයට සීයක් සාධාරණ ය. එහෙත් කෙළිලොල් යෞවනයේ පසුවන තරුණියක සතු අහිංසක දඩබ්බරකම මානෙල්ට ද නො අඩුව ම විය. ජිවිතයේ එළඹෙන යම් යම් අවස්ථාවල් යළි ලැබේ ද නොලැබේ ද යන්න අපට නිර්ණය කල නො හැකි ය. එබැවින් ලද අවස්ථාවකින් ප්‍රයෝජන  ගැනීමේ වරදක් ද විටෙක කිව නො හැකි ය.

රාත්‍රී 11.00 පමණ විය. විඩාවට පත් සිසුවියෝ සියල්ලෝම පන්ති කාමරයේ එකට වැටී හැකි පමණින් නින්දට ගියහ. හෙට දිනය ඔවුන්ට තීරණාත්මක දිනයක් වන බැවින් ඒ සදහා පුර්ව සූදානමට  විවේකය අත්‍යවශ්‍ය  ම ය. සීතලත්, මහන්සියත් නිසාවෙන් වැටෙන්නටත් පෙර නිදි දෙව්දුව ඔවුන්ව වැළඳ ගත්තා ය. ඒ අතරතුර ගුරුවර ගුරුවරියෝ ළමයින්ගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වුහ. මුළු රැය ම නොනිදා පහන් කිරිමට ඔවුන්ට සිදු විය.

නොනිමෙන පහණක් - 2 කොටස

“හ්..ම්..ම්..ම්..හ්...හ්...හ්.”..

කතාවට මුල පිරූ අම්මාගේ ලයෙන් නික්මුණු  දිග සුසුමක්  ඇගේ මුවින් වා තලයට එකතු විය.

“ඇයි අම්මේ.. ?  අම්ම කියන්න අකමැති දෙයක් නම් කමක් නෑ.  ඔන්න ඔහෙ නොකිය ඉන්න”..

අම්මගේ මුහුණේ ඉරියව් සැනෙකින් වෙනස් විය. එහෙත් එහි ගැබ් උණු අරුත මට වටහා ගත නොහැකි විය.

“ඔක්කොටම කළින් මගේ පුතා මට එක දෙයක් ගැන කියන්න ඕන.. හැබැයි ඇත්ත ම කියන්න ඕන”..

“මොකක් ගැනද  අම්ම අහන්නේ”.. ?

“පුතා තවම හිතේ අමාරුවෙන් නේද ඉන්නෙ.. පහුගිය කාලේ සිද්ද වුණ දේවල් නිසා”..

අල්පෙනෙති තුඩක් බිම වැටුණත්  ඇසෙන තරම් නිහැඩියාවක් හාත්පස ම විය. අම්මාගේ මුවින් පිටවුණු වචන කිහිපය අමු අමුවේ ම තුවාලයකට ස්ප්රිතතු වත් කළා වැනි ය. ක්ෂණයකින් මගේ සිත අවරුදු 2ක් ආපස්සට දිව ගියේ  මටත් නොදැනීම ය. අම්මාගේ වමත ඇය ලගට වී සිටි මගේ හිස මත නතර විය. මටත් නො දැනීම මගේ දෑස් තෙත් විය. ආයාසයෙන් මම නැවතත්  හඬ අවදි කළෙමි.

“මට දැන් ඒ දේවල් ගැන වැඩක් නෑ අම්මේ.. කවුරු  නැතත් මට මගේ අම්ම ඉන්නවනේ... මට ඒ හොදටම ඇති”..

“හ්ම්ම්.. මට නො තේරෙන්නේ නෑ මගේ පුතේ.. මේ අම්මට උඹ ගැන නො තේරෙන දෙයක් නෑ..  පුංචි කාලේ ඉදල තාත්තෙක් නැතුවත් උඹව මං හැදුවේ මලක් වගේ..  කවදාවත් උඹට මන් දුකක් දීල නෑ මගේ පුතේ”..

“මං ඒක දන්නව අම්මේ”..

අම්මගේ වචන වලට ඇස් දෙකින් කඳුළු පිට පනින්නේ නැති නම් ඒ මහා පුදුමයකි.

“හ්..ම්ම්... මං අද කියන දේ අහල මගේ පුතා මගේ ගැන වැරදියට හිතන්න එ..පා.... මං  මේ දේ කියන්න හේතුවත් මගේ පුතා මයි”. ..

“අම්ම මොන දේ කිව්වත් මන් කවදාවත් එහෙම නරකක් හිතන්නේ නෑ අම්මේ.. ඉතින් කියන්..න..කෝ.. මන් අහන්  ඉන්නම්”..
 

අම්මාගේ  අතීතාවර්ජනය ඇගේ 16 වන වියේදී සිදුවූවක් විය. කතාවේ  කතා නායකයා මගේ අම්මා ය. ඇය නමින් මෙන් ම හදවතින් ද මානෙල් මලකි. මේ ඇගේ කතාවයි.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

“නයනා.. කෝ මානෙල්... තවම ආවේ නැද්ද “.. ?

හිමිදිරියේ ම  ලහි ලහියේ ළමයින්ගේ ලැයිස්තුව පරික්ෂා කරමින් සිටි තිලකා ගුරුතුමිය විමසුවා ය. ඇය පාසලේ  උඩරට නැටුම් ගුරුතුමිය වුවා ය. සමස්ථ ලංකා නැටුම් තරඟාවලිය සදහා බණ්ඩාරවෙල බලා පිටත් වීමට සියල්ල සුදානම් විය.

“මිස් .. මිස්... මං ආව”..

“කොහෙද දරුවෝ හිටියේ”..

“නෑ මිස්.. මං මේ දැන් ආව විතරයි”..

“හා.. හරි .. හරි.. ළමයි ඔක්කොම 4 වෙනි පෙට්ටියට නගින්න.. කල්පනාවෙන් තම තමන්ගේ ගෙනාපු දේවල් මතක ඇතුව අතට ගන්න”..

කණ්ඩායමේ ළමයින් 16 දෙනෙක් විය. ඒ සමග ම නැටුම් ගුරුතුමිය වන තිලකා ගුරුතුමියත්, පෙරදිග සංගීත විෂය භාර  සේකර ගුරුතුමාත්, කලා අංශ භාර සෙනෙවිරත්න ගුරුතුමියත් විය. බෙර, තම්මැට්ටම්, සර්පිනා, බට නළා, ඇතුළු වාද්යර භාණ්ඩ රැසක් ද ඔවුන් අත විය.

..”කරුණාවෙන් සවන් දෙන්න.. තුන් වන වේදිකාවට පැමිණි  දුම්රිය බණ්ඩාරවෙල බලා පිටත් වේ.  එම දුම්රිය කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ඇති සෑම ප්ර ධාන දුම්රිය ස්ථානයක ම නවත්වනවා ඇත”....

කොටුව දුම්රියපළ දෙවනත් කරමින් යකඩ කටින් එසේ පිට වනවාත් සමග ම ඔවුන් රැගත් දුම්රිය  බණ්ඩාරවෙල බලා සෙමෙන් සෙමෙන් ගමනාරම්භ කලේ ය. ජීවිතයේදී සිදුවන සෑම සංසිද්ධියක ම අප හිතනවාට වඩා වැඩි යමක් ගැබ් ගෙන ඇති බව අපට හැඟෙන්නේ ඒ සියල්ල සිදු වී හමාර වන විටය. විටෙක එය සතුටක් විය හැකි ය. විටෙක එය මහා දුකක් විය හැකිය. මේ යන ගමනේ දී තමන්ගේ ජිවිතයේ පුර්ණ වෙනසක් සිදුවන බව මානෙල් හීනයකින්වත් නොසිතුවා ය.

*************************************************