“ළමයි...නේ... නැගිටින්නල දැන්.. ඔය මදෑ නිදා ගත්ත”...
“තේ ටික ඇල් වතුර වෙලා”...
“හා හා.. කෝ ඉතිං.”..
“රෑ තිස්සේ නිදාගන්නැතුව නාඩගං නටනවනෙ ”...
පස්ස පැත්තට ඉර එළිය වැටෙනකන් සාලයේ මහ පොළොව බදාගෙන නිදන අපට ආච්චිඅම්මා විටින් විට විත් අප අවදි කිරීමට බලවත් ප්‍රයත්නයක යෙදෙයි.
“ආ...නේ... තව චුට්ටක් නිදා ගන්න දෙන්න...කෝ”.... මූණවල් කොට්ටවල ඔබා ගනිමින් පොඩිහිටියෝ කියති.
“ළ...මා...යි... නැගිටල මූණ කට හෝදගෙන යන්න ලෑස්ති වෙන්නල ”..
අම්මලාගේ සීනුව නාද වෙයි. මෙවිටදී නම් අවනත වීමට අකමැත්තෙන් වුවත් සිදුවේ. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් නිදි ගැට කඩමින් ඇස් බාගෙට පියවමින් අප නිදා ගත් කොට්ට පැදුරු අකුලන්නෙමු. ළිදෙන් අදින සීතල වතුර බාල්දියකින් සරුවාංගෙම නාවනකන් ඈලි මෑලි ගතිය නැති වෙනවානම් බොරු ය.
“මගෙ අම්...මේ... ඡාති ගො..ඩා...යි.”..
තේ බී අහවර වනවාත් සමග ම ආච්චිඅම්මා කෑම පිරවූ පිගන් අප අත තබයි. ඉදිආප්ප, ආප්ප, රෝල්ස් , කිරිබත් ආදීයෙන් පිගාන පිරිලා ය. ඒ සියල්ල ගිල දමන අපට සීයා බේකරියෙන් ගෙනාපු උණු උණු කිඹුල බනිස් ගෙඩියක් ද ලැබේ.
“පුතේ... දැන් කන්න බැරිනම් ඕක ගෙදර ගිහින් කන්න තියා ගන්න ”... අම්මලා කියද්දී,
“නෑ ...නෑ.. බඩේ තව ඉඩ තියෙන..වා.”.. පොඩිහිටියෝ කටවල් උල් කරමින් කියති.
අවුරුද්දේ ලස්සන ම, නිදහස් ම දවස් එකහමාරක නිමාව.. උදේ එකොළහ පමණ වනවිට නැවතත් අප නිවෙස් බලා පිටත් වීමට සූදානම් වන්නෙමු. ආච්චිඅම්මා මේ අතරතුර නිවසින් අතුරුදහන් වෙයි. විනාඩි දහයකින් පමණ ඈ නැවත පැමිණෙන්නේ ත්‍රීවිල් 2 ක් ද සමග ය. ඇගේ අතේ ද කුඩා මලු කිහිපයකි.
“ආ... පුතේ... මේං... ගෙදර ගිහින් කන්න “...
“මං එද්දි ආයෙත් ගෙනත් දෙන්නම්කො “...
එසේ පවසමින් ආච්චිඅම්මගේ අතේ තිබූ කුඩා මලු එක බැගින් ඈ අප අත තබයි. එහි ඇත්තේ කඩචෝරු බව අපි හොදාකාරව ම දනිමු. ත්‍රීවිල් ගාස්තුවද ඈ ගමන නිමා වෙන්නත් ප්‍රථම ගෙවා හමාර ය.
ආච්චිඅම්මාටත් සීයාටත් අපි සියල්ලෝම දණ ඔබා වදින්නෙමු. ආච්චිඅම්මාගේ අතේ එල්ලී කඩුල්ල තෙක් එන අපට ඇගෙන් මිදී නිවෙස් බලා පිටත්වීමට හිතක් නම් ඇත්තේ ම නැත. බොහෝ විට මගේ ඇස් වලට කදුළු පිරෙන වාර අනන්ත ය. ආච්චිඅම්මාටත් සීයාටත් එය එසේම ය.
“තුණුරුවන්ගෙ සරණයි... රත්නත්තරේ පිහිටයි මගෙ පුතේ “...
“මං එන්නම්කො මයෙ පුතාලව බලන්න “...
ආච්ච්අම්මා නැවතත් පන්සලේ කපු හාමිනේගේ වෙස් ගනියි.
“අනේ ..පුතේ... මගෙ ළමයින්ව පරිස්සමෙන් ගෙදරට ඇරලන්න ”.. . ත්‍රීවිල් රථ රියදුරාට ඈ කියයි.
“ආ... ඇන්ටි බය නැතුව ඉන්නකො... මං පරිස්සමට එක්කන් යන්නම් ”... ඔහු කියයි.
පොල් පැටෙව්වා හා සමානව එකා පිට එකා නැග ත්‍රීවිල් රථවලට ගොඩවෙන අප මහ ගෙදරින් සමු ගන්නෙමු. ඒ හැම මොහොතකම මට දැණුනේ හරියට ගම රට අතහැර යනවා වගේ ය. වචනවලට පෙරළිය නො හැකි අමුතු ම දුකක් හිත පතුලේ විය. නිසැකව ම ඒ අපේ පවුලේ ඇති තදබල බැදීම නිසා විය යුතු ය.
අවුරුදු සුවද සෙමින් සෙමින් ගෙවී යයි. අවුරුදු නිවාඩුවෙන් පසු නැවතත් අපි අපේ සුපුරුදු ඒකාකාරී ඡීවිතයට කොටු වන්නෙමු. ඊළග අවුරුද්දට අවුරුදු සුවද පැමිණෙන තුරු ඇගිලි ගනින්නෙමු.
ඒත්........
අපේ පවුලට නැවත ඒ අවුරුදු සුවද හැබැහින් විදීමේ වාසනාව යළි කවදාවත් නො එන බව අපි දනිමු.කෙළි සිනා කවටකම් වලින් පිරි අපේ අවුරුදු සුවද යළි කවදාවත් නැවුම් සුවදකින් පිබිදෙන්නේ නැත. එය එක් අතීතාවර්ඡනාවක සිර වුණු සුවදක් පමණක්ම ය. යළි මතක් කරමින් ඒ සුවද විදිනවා මිස හැබැහින් කවදාවත් විදිය නො හැක.
බක් මාසය අවසානයේදී අවුරුදු කුමරා පලා යන බව අප සැවොම දනිමු. එහෙත් අපේ පවුලේ අවුරුදු දෙවගන අප අතරින් සදහට ම පළා ගොස් අවසාන ය. ඇගේ සුවද , ඇගේ ආදරය, ඇගේ සෙනෙහස සියල්ල ම සදහට ම මතකයක් බවට පත්වී හමාර ය. අපේ අවුරුදු සුවද සදහට ම මළගම් ගොස් හමාර ය.
අපේ අවුරුදු සුවදට අවසානයේ දානමය පිංකමක සුවද එක් විය....
අද .... මගේ ආච්චිඅම්මාගේ වර්ෂපූර්ණ දානමය පිංකම ය...
මගේ ආදරණීය ආච්චිඅම්මේ.... ඔබට අමා මහ නිවන් සුව ම ලැබේවා....!!!!
************************************************
____________ නිමි__________________
"රෑට කන්නෙ නැද්ද ... ළමයි...නේ"...
ස්මුරුත්තාව හැදෙනකන් ම දවල් දවසේ ම වල් පල්වලින් බඩ පුරවාගෙන සිටින අපට රාත්‍රී ආහාර ගන්නවා තියා හිතන්නටවත් බැරි තරම් ය. කාගෙන් ගැලවුණත් ආච්චිඅම්මාගෙන් ගැලවීම නම් බොරු ය. උණු උණු සුදු බතට මාළු බොර හා පරිප්පු වෙයි. ආච්චිඅම්මා පොල් හා සමානව ම උම්බලකඩ වැඩියෙන් දමා ගලේ අඹරා නෑඹිලියෙන් අඩක් පිරෙන්න පොල්සම්බෝලයක් ද සාදයි.
"අම්...මේ... කවන්න...කෝ"....
පොඩිහිටියෝ අම්මලාට ඇවිටිලි කරති. අම්මලා සිය දරුවන්ගේ ඉල්ලීම අහක දමයි නම් ඒ පුදුමයකි. අපේ අතින් බත් පිගානක් කෑමට වරුවක් ගත කරන අප, අම්මලා කවන විට විනාඩි දෙක තුනෙන් පිගාන හිස් කරන්නෙමු.
"අ...ම්....මේ.... තව බත් ටිකා.....ක්"...... බොහෝවිට පොඩිහිටියන්ගේ මුවින් පිටවෙයි.
"දැන් කන්න බෑ කියල නේද කිව්වෙ...ඈ"....
"ඔක්කොම බොරුනෙ මේ... ළමයිගෙ.... හ්ම්ම්".....
අප නැවතත් බත් ඉල්ලන්නේ බඩගින්නට නම් නොවේ. බඩ පිරුණට හිත තව ම පිරී නැති නිසාවෙනි. අම්මාගේ අතින් කවන සෑම බත් කටක ම අමුතු රසයක් වෙයි.
"ආ..ච්චි...යේ..... මට නෑඹිලියට බෙදල දෙන්නකො"... මම කියමි.
"නෑ ..නෑ... ගෑණු ළමයි නෑඹිලියෙ කන්න හොද නෑ"... ආච්චිඅම්මා හරස් කපයි.
"ආ...නේ... මොකද්ද ආ...ච්...චි..යේ".... මම නැවතත් කෙදිරි ගාමි.
"පිස්සුද කෙල්ලෙ.. නෑඹිලියෙ කෑවම මගුල් දාට වහිනවා"....
"උඔලගෙ ලොකු අම්මත් නෑඹිලියෙ කාල නා කපන වැස්සෙ තමා මගුල් කෑවෙ"...
ආච්චිඅම්මා මතකය අවදි කරමින් පැරැන්නන්ගේ විශ්වාසයක් මතු කරයි.
"හා ...එහෙනම් මට ඇතිලිය දෙන්න...කෝ" ...
මගෙන් තවත් ඇවිටිල්ලක්. මෙවර ආච්චිඅම්මාට මට එපා කීමට මම ඉඩ නො තබමි.
"ඈ... පියන්තියො.... උඹලෑ ගෙදර මේ කෙල්ලට කන්න පිගානක් නැද්ද"..... ආච්ච්අම්මා මගේ මවගෙන් සිනහවෙමින් විමසයි.
"අනේ නෑ අම්මෙ.. මේ කෙල්ලට හොදි රොස් කරපු වලදක් පේන්න බෑ"... අම්මා ද ආච්චිඅම්මගේ කතාවට හූ මිටි තබයි.
සැබැවින් ම මම හැළි වලන්වල කෑමට ප්‍රිය කළෙමි. මම පෙරේත යැයි අයෙක් කිව හැකි ය. එහෙත් වලං ගැට්ටේ ඉතිරි වී ඇත්තේ රස ම කොටස බව දන්නේ එහෙමත් අයෙක් පමණකි.
රාත්‍රී ආහාරයෙන් පසුව නැවතත් අප ආච්චිඅම්මගේ කාමරයට කොටු වෙමු. රාත්‍රී 10.00 පමණ වන තෙක් අප විවිධ ක්‍රීඩාවල නිරත වෙමු. කළු අවතාරය බය කිරීම , අතුරු මිතුරු, පොල් කැඩීම, ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම අපගේ ක්‍රීඩා ලැයිස්තුවෙන් කීපයකි.
"රෑ වෙලා හොදටම... ළ...මා...යි.... නිදාගන්නලා දැන්"...
"ඇති ඔය... නට නටා හිටිය"...
අම්මලා අඩ බෙර ගසයි. මල්ලිලා සැවොම පුංචිඅම්මාගේ ඇදට රිංගා ගනියි. බාප්පලාද හැකි අයුරින් බිම පැදුරක් දමාගෙන හෝ මල්ලිලා සමග නින්දට යයි. ලොකු අම්මලාත් පුංචිලාත් ආච්චිඅම්මාගේ කාමරයේ හා සාලයේ තැනක නින්දට යයි. සීයා කෑම කාමරයේ නිදයි. ආච්චිඅම්මා සාලයේ කෙළවරක නිදයි. මම ආච්චිඅම්මාට තුරුළු වී නිදමි.
නින්ද යාගෙන එද්දී මගේ පිටුපසින් කවුරුන් හෝ සිටිනවා මෙන් දැනී මම නැගිටිමි.
"ක...වු....ද".....
"අ...ක්..කෙ... ෂ්...ෂ්.... මේ මම අ...නේ"...
ඒ චූටි මල්ලී ය. අනෙක් අයට නින්ද යනතෙක් සිට ඔහු ආදෙකු මෙන් කාමරයෙන් ලිස්සා විත් මටත් ආච්චිඅම්මටත් තුරුළු වෙයි. පොඩි මල්ලී අතුරුදන් බව විනාඩි 5ක් යන්නට පෙර දැන ගන්නා මගේ අනෙක් මල්ලිලා තිදෙන ද එකා බැගින් විත් ආච්චිඅම්මාත් මාත් නිදන පැදුරට ගුලි වෙති. මෙවිට ආචිචිඅම්මාට ද ඇහැරෙයි.
"කොහෙද.. පුතේ මේ ... රෑ ඡාමෙ කළුවරේ ඇවිදින්නෙ"... ආචිචිඅම්මාගේ කටහඩින් අම්මලා අවදිවී විදුලි පහන් දල්වයි.
"හො...යි...යෝ.... මේ ළමයි ...කොහොමද මේ නිදන් ඉන්..නෙ"...
පොඩිහිටියෝ පැදුරේ හතර කොන බදාගෙන ය. එකෙක් ආච්චිඅම්මාගේ කකුල් දෙක උඩ ය. තවකෙක් පැදුරෙන් එළියට රෝල් වී ගොස් ය.
"නැගිටපල්ල... නැගිටපල්ල"....
"නැගිටල හරියට නිදාගන්නව...ල".... අම්මලා කියද්දී ,
"අ...නේ... බෑ....ඈඈ....... අපිටත් ආච්චි එක්ක නිදා ගන්න ඕ...නේ".... මල්ලිලා කෑ ගසයි.
පොඩිහිටියන්ගේ බලවත් පෙරැත්තයෙන් අම්මලා සාලය මැද තිබෙන පුටු මේස සියල්ල ඈත් කරමින් නිදන්නට ඉඩකඩ සකස් කර දෙයි. අපි ඉක්මනින් ආච්චිඅම්මාගේ චීත්ත 6ක් 7ක් උස්සාගෙන එන්නෙමු. චීත්ත එක පෙලට බිම අතුරා අපේ සුව පහසු යහනාවන් සාදා එහි සැතපෙන්නෙමු.
ආච්චිඅම්මා , මම , චූටි මල්ලි (තරබාරු) , පොඩි මල්ලි (සඡියා) , ලොකු මල්ලිලා (තරිදුවා , සුපුනා ) සහ මගේ අම්මා , ලොකු අම්මලා , පුංචිලා වමේ සිට දකුණු පෙදෙසට පිළිවෙලින් පෝලිමට නිදති. රෙදි කඩක් පමණක් බිම එළා නිදා ගැනීමෙන් ශරීරයට දැනෙන සුව පහසුකම ගැන පැවසීමට වදන් නැත. පැය දෙකක් තුනක් පසුවන විට ඇටකටු හතරට පහට කැඩුවා හා සමාන ය. එහෙත් එහි වූ වින්දනය වේදනාවට වඩා ප්‍රභල විය.
"ළමා....යි.... අද මූණක් කටක් හෝදගන්න උවමනාවක් නැද්ද.... ඈ".....
රාත්‍රී 8.00 පසු වෙද්දී අපේ අම්මලාගේ හඩ අවදි වෙයි. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් දොර උළුවහු ගනිමින් අප ඇග පත සෝදා ගැනීමට සූදානම් වන්නෙමු. මෙසේ ඈලි මෑලිකම් දැක්වූයේ වෙන කිසිවකටවත් නොවේ. පිරිසිදු වූ පසුව අපට ඕනෑ විදියට දගලන්නට විදියක් කිසිසේත් නොලැබෙන නිසාවෙනි.
"මේ ළමයි කෝ... කෙල්ලනේ... අර ළමයි තනියම ළිදට දුවලද කොහෙද"...
"හවස් ඡාමෙන් පස්සෙ තනියෙන් ළිදට යන්න එපා කිව්වට අහනවද ඉතිං ... කොච්චර කීවත් වගක් නැති හැටි"...
ආච්චිඅම්මා මොර දෙයි.
"අ..ම්...මේ... හඩු ගද.... දාඩිය වක්කරගෙන ඉන්නයි තවත් හැදුවෙ"....
"සත්තු වගේ... වන ඡීවී ඩිපාර්ට්මන්ට් එක"...
රෙදි අපුල්ලන්නාක් මෙන් පොල් කොහු මිටකින් අම්මලා සිය දරුවන්ව ළිද ළග දමාගෙන බැණ වදිමින් අපුල්ලයි. ඇග සේදීමෙන් පසු සැබෑවට ම අප වන ඡීවී තත්ත්වයෙන් මිදෙන්නෙමු. ආච්චිඅම්මාගේ රාණි සදුන් සබන් කැටයේ හා ගෝයා පුයර වල සුවද නාස් පුඩු හාරාගෙන යයි.
"මේ ළමයි දිහා දැන් මනුස්සයෙක්ට බලන්න පුළුවන්" ...
නැවතත් අප සුශිලාචාර විනීත දරුවන් බවට පත්වන්නෙමු. දවසේ වැදගත් ම කාර්යභාරය ඉටු කිරීම ඇරඹෙන්නෙ මෙවිටදී ය.
"ළමයි... ආච්චිටයි සීයටයි බුලත් දෙන්න ලෑස්ති වෙන්න"..
අම්මලා තෑගි පාර්සල් දෙක බැගින් අප අත තබයි. සෑම අවුරුද්දක ම මමත් අම්මාත් අවුරුද්දකට සතියකට පෙර මහරගම හන්දියෙන් ආච්චිඅම්මාට මල් වැටුණ චීත්තයකුත් සීයාට ඉරි වැටුණු තුන්පොට සරමකුත් මිලදී ගන්නෙමු.
බුලත් හුරුල්ලට යටින් බ්‍රවුන් පේපර් බෑගයක දමා සූදානම් කළ අවුරුදු තෑගි තබමින් පොඩිහිටියෝ තරගෙට පළමුව සීයාටත් දෙවනුව ආච්චිඅම්මාටත් බුලත් දී දණ ඔබා වදින්නට පටන් ගනියි. පළමු අවස්ථාව හිමි වන්නේ මට ය.
"රත්නත්තරේ පිහිටයි .... මගෙ ... දරුවෝ"....
සීයාගේ දෙපා අල්ලනවාත් සමග ම ඔහුගේ දෙඅත ම මගේ හිස මත තබා ඔහු පවසයි. සැබැවින් ම සීයා මට පියෙකි. මා නැගිටුවා ඔහු මා හට තව තවත් සෙත් පතයි. නැවූ බුලත් කොළයක් ඔහු මා අත තබයි. එහි රුපියල් සියයක් වෙයි. දෙවනුව ආචිචිඅම්මාට ද බුලත් දී දණ ඔබා වදිමි.
"තුණුරුවන්ගේ සරණයි.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි... ආරක්ෂාවයි"..
"තව තවත් බුද්ධිය පහල වෙන්න ඕන"..
"කිසිම දුක් කරදරයක් .. අතුරු ආ...න්තරාවක් නොවේවා"...
"ඡයෙන් ඡය ම ලැබේවා"....
පන්සලේ කපු හාමිනේ මෙන් ආච්චිඅම්මා වැරහුණු දෑත් වලින් හිස පිරිමදිමින් කියාගෙන කියාගෙන යයි. ඒ සමග ම ඉනේ ගසාගෙන සිටින හැඹිළිය අතට ගන්නා ඇය බුලත් කොළයක නැවූ රුපියල් සියයකුත් වෙන ම තවත් රුපියල් පනහකුත් මගේ අත තබයි.
"මෙච්චර එපා ආ..ච්...චි...යේ".... මම කියමි.
"ඕක අම්මට පෙන්නන්න ඕන නෑ... මොනාහරි ආස දෙයක් අරන් කන්ට".... ආචිචිඅම්මා මගේ කණට කර පවසයි.
මේ අතරතුර පොඩිහිටියෝ බිම පෙරළි පෙරළි වදිති. විටෙක බුලත් අතේ උල් වූ අගිස් පැත්ත දික් කරයි.
"ඔහොම නෙමෙයි ...පුතේ... මේ...න්...න මෙහෙ...ම"
සීයාත් ආචිචිත් හරි වැරදි අපූරුවට කියා දෙයි. සෑම දරුවෙකුට ම බුලත් කොළයක නැවූ සුළු මුදලක් අත තැබීමට ඔවුන් දෙපළ අමතක නො කළේය. වැඩිහිටියෝද පිළිවෙලින් සීයටත් ආච්චිඅම්මාටත් බුලත් දී වදිති.
"අම්මෙ.. අ...ම්...මේ.... චුට්ටක් ඉන්න...කෝ.... ආ....නේ"......
"ගෙදරදි හරියට වදින්නත් බැරි වුණා...නේ"....
පොඩිහිටියන් තම දෙමව්පිය වැඩිහිටියන් සොයා ගොස් හතර ගාතෙන් ම වැද වැටෙති.
"ඔව් ඔව්... ඉතිං"...
"වදින තරමට උඹලගෙ සාක්කුව පිරෙන නිසා වදියි ඉතිං..... තෙරුවන් සරණයි මගෙ පුතේ"...
එක එකා වැද වැටෙන ගානේ වැඩිහිටියෝ සිනාමුසු මුහුණින් කියති. එවිට අපේ මුවින් :
"හැමදාම නෑ... හැම තැන ම නෑ"...
යනුවෙන් වාචාල යමක් පිටවෙයි. සැබැවින් ම බුලත් දීමෙන් අනතුරුව අපගේ විනෝදාංශය තමන් සතු බුලත්කොළ වල නවා ඇති මුදල් ගනන් කිරීම ය.
"චැක්... අපරා....දේ.... හැමදාම අවුරුදු නැත්තෙ".... පොඩි මල්ලි කියයි.
"හොද වෙලාවට.. නැත්තන් හැමදාම අපිව සුද්ද කරයි"...
පොඩි මල්ලිගේ කතාව ඇසුණු පුංචිඅම්මා කියයි.
දරුවන්ගෙන් වැදුම් පිදුම් ලබන මොහොතේ සීයාගේත් ආච්චිඅම්මාගේත් දෑස් මොහොතින් තෙත් වී යයි. ඒ දෑස් තුළ පිරී ඇත්තේ අප වෙනුවෙන් පිරී ඉතිරී යන ගිනිය නොහැකි, මැනිය නො හැකි වූ අපමණ ආදරය හා සෙනෙහසයි. අපට ලෝකයේ ලැබිය හැකි අපමණ සුවය ඇත්තේ ඔවුන් ළග ය. එමෙන් ම ඔවුන්ගේ සිත් සතුට සොම්නසින් පිරී ඇත්තේ අප ඔවුන් ළග ගැවසෙන විට ය.
අවුරුදු සුවද - 05 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න
"අපෝ මේ මදි ... තව මොනාහරි හොයන් එන්න ගිහින්"... මම මල්ලිලාට විධාන දෙමි.
"අ..ක්...කේ.... මේං තව 2ක් හොයා ගත්....තෝ"....
මගේ සහෝදර පාර්ශවයෙන් දෙයක් ඉල්ලුව සැණින් ලබා ගත හැකිය.
අපගේ වාර්ෂික සංගීත ප්‍රසංගයේ පූර්ව සූදානම හා පෙරහුරුව ඇරඹෙයි. ටින් බෙලෙක්ක , බාල්දි, පියන්, පොල්කටු , හැදි යනාදී අඩුම කුඩුම පොඩිහිටි අපේ සංගීත ප්‍රසංගයේ වාද්‍ය භාණ්ඩ බවට පත්වෙයි.
ටිං ටිං ටිං... ටොන් ටොන්... දඩ බඩ... ටක් ටක්... චිස්..... ඩුම්ම්ම්.....
ටෙස්ටින්ග් වන්... ටෙස්ටින්ග් වන්...
සියල්ල සූදානම්... අඩුපාඩුවකට ඇත්තේ ගායක ගායිකාවන් පමණි. වැඩිහිටි සියළු දෙන නිවස ඉදිරිපස නමිනං ගස හා අඹ ගස යටට වී වට මේසයක් දමා ගනියි. ඒ අතරතුර මගේ ආච්චිඅම්මාගේ තේ පැන් සංග්‍රහය ද පිළිගැන්වෙයි.
"ළමයිනේ.. ළ..මා...යි... මේ ඇවිත් තේ බීල හිටින්නල"....
ආච්චිඅම්මා අප සිටින කාමරයට විටින් විට එබිකම් පාමින් මොර දෙයි. උගුරට දෙකට තේ කෝප්ප හිස් කරන අප නැවතත් ආච්චිඅම්මගේ කාමරයට රැස් වන්නෙමු.
"ලොකු මල්ලි... ගිහින් පුංචිට එන්න කියන්නකො"..
ඒ ආරාධනය ප්‍රධාන ගායිකාව වන මගේ අම්මාටයි. බලවත් පෙරැත්ත කිරීම හමුවේ අම්මාට අපගේ ඉල්ලීමට කර ඇරිය නොහැකි වෙයි. පළමු ගීතය හිමිවන්නේ පොඩිහිටියන්ට ය.
සැළලිහිනි කොවුල් හඩ... රැව් දෙන්නා...
ආදර්ශමත් ළමා පරපුරක් මෙන් අප ළමා ගීතයකින් සංගීත ප්‍රසංගය ආරම්භ කරන්නෙමු. මගේ අම්මාද අප හා එක්වෙයි.
දෙවන, තෙවන ගීතය ගැයෙන අතරතුර අනෙක් වැඩිහිටියන්ද එකා බැගින් කාමරය අරක් ගනියි. අපේ ළමා කම කැලේ පනින්නේ මෙවිටදී ය. ආදර ගීත, විරහ ගීත, බයිලා එක පෙළට නන් ස්ටොප් ගලාගෙන යයි.
"අප්...පෝ.... බේස් මදි .... අ...යි...යෝ"....
මියුසික් එක බොක්කට ම වදින්නත් සංගීතය නැගල යන්නත් බේස් ඩ්‍රම් එකක් වුවමනා ම ය. මම ලද අවස්ථාවෙන් ප්‍රයෝඡන ගනිමි. මේ සදහා ආච්චිගේ අල්මාරිය තරම් ගැළපෙන්නක් තවත් නැත. බිත්තියටත් අල්මාරියටත් අතර ඇති ඉඩට රිංගන මම තාලයට අල්මාරියට තඩි බාන්නට පටන් ගනිමි.
මැද භාගයේදී සුපිරි මහා සංගීත ප්‍රසංගයක සෑම ළකුණක් ම හිමි අපේ කණ්ඩායමේ ප්‍රියත ම ගීතය පටන් ගැනෙයි.
අමර පෙම් ලතාවේ... රන් මලක් උදාවේ.....
මේ අතරතුර මගේ සීයාත් ආච්චි අම්මාත් සාලයේ ඇදිපුටු දෙකක දිගා වී අපේ මියුරු සංගීතයේ රසය නිදහසේ විදියි.
"ආ..ච්...චි...යේ... එන්නකො අනේ සිංදුවක් කියන්න"....
ආච්චිඅම්මාත් අප හා එක්වෙයි.
මනරම් ... රැගුමන්...
ආච්චිඅම්මා සැමදෙන පරයන ගීත කෝකිලාවියකි. සැබැවින් ම ඈ රුවෙන් හා හඩින් ලතා වල්පොල මහත්මියට සමානතාවක් දැක්වූවා ය.
මුළු පළාත ම දෙවනත් කරමින් පුරා හෝරා තුනක් හතරක් පැවැත්වෙන සංගීතය අහවර වන්නේ රාත්‍රී 8 ට පමණ ය. ආච්චි අම්මාගේ කාමරයෙන් අප සියලුදෙන නික්මෙන්නේ තැම්බූ කුකුළන් මෙනි. අත පය ලේ වී ඉදිමී සමහරවිට පතුරු ගොසිනි.
"හයි..යෝ.... මේ ළමයිගෙ හැටි"....
"නලනියො... පියන්තියො... චුක්කියො"....... ආච්චිඅම්මා අපේ අම්මලාගේ නම් පිළිවෙලින් අමතයි.
"බලාපල්ල.... මේ .... ළමයි කොරගෙන තියෙන හදියක්"...
ආච්චි අම්මාගේ ආදරය සෙනෙහස ඒ සෑම වචනයක ම නො අඩුව ගැබ් වීය. ඇයට මෙන්ම ඇගේ නාරායන තෙල් බෝතලයට ද පින් දිය යුතුය. සියළු වේදනාවල් එක් තෙල් බිදකින් වාෂ්ප වී යයි.
මේ සියළු දගකාරකම්වලින් වේදනාවල් එමට නො දැනුණා ම නොවේ. එහෙත් ඒ කිසිදු වේදනාවකින් අපේ වින්දනය යටපත් කළ නොහැකි විය. ඡීවිතය තිබෙන තාක්කල් අමතක නො වන මතක රැසක් පොදි බැදුණේ අපටත් නො දැනීම ය.
අවුරුදු සුවද - 04 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න