Search This Blog

Tuesday, April 30, 2013

අවුරුදු සුවද - 01 කොටස

" හප්පොචිචියේ... මගෙ අවුරුදු කුමාරිගෙ හැඩ... 

ඇස් වහක් කට වහක් වදින්නෙපා මගෙ සුදු නෝනට".... 


වත්ත පහල කඩුල්ල පනින්නත් කළින් පෙරමගට දුවන් එන මගේ ආච්චිඅම්මගේ වැහැරුණු පුංචි අත්දෙක මගේ හිසේ සිට දෙපතුල දක්වා තුන් හතර වතාවක් ඉහල පහළ යයි. 


"මං ලස්සනයිද ආච්චියේ .. ? අම්ම තමයි මහල දුන්නෙ"... 



තව තවත් මං ලස්සන යැයි ඇසීමේ බලවත් ආශාවෙන් නැවත වරක් අසමි. ආච්චිඅම්මා ආදරෙන් මගේ මුහුණ සිඹ මා තුරුල් කර ගනියි. මම ඇගේ වැඩිමහල් මිණිබිරියයි. 



මේ සියලුම ඇගයීම මගේ අම්මාට හිමිවිය යුතු යැයි මගේ අදහසයි. 



මගේ සිත එකවරම සතියක් ආපස්සට දිව යයි. අළුත් අවුරුදු සමයේ මහරගම නගරයට නම් ඇගිල්ලක් ගහන්නවත් බැරි තරම්. 



"එකහමාරක් සීයයි... එකහමාරක් සීයයි"... 



පදික වේදිකාවේ චීත්ත රෙදි යාර එකහමාරක් රුපියල් සීයට විකිණෙයි. පුංචි පුංචි මල් වැටුණ චීත්ත රෙද්දකින් බෝරිච්චි අත් දමා ගිනිකූරු රැළි තබා අම්මා මසන ගවුම් පොඩිත්තට මම වහ වැටුණා හා සමානයි. සමහරවිට ඒ අවුරුද්දට ම මට ලැබෙන එක ම අළුත් ඇදුම නිසා වෙන්න ඇති. ආච්චිඅම්මාගේ වචනවලින් මගේ ආසාව තව තවත් වැඩිවූවා මිස අඩුවක් නම් වු‍ණේ නෑ.. 



ආච්චිඅම්මාටත් සීයටත් කවරදාටත් වඩා වැඩ අධික දවසක්.. 



අපේ සම්පූර්ණ පවුලේ සාමාඡිකයින් 16 දෙනෙක් වෙයි.මම හැරෙන්නට තවත් මුණුබුරන් 4 දෙනෙක් හා එක් මිණිබිරියක් මගේ ආච්චිඅම්මා හා සීයා සතුවෙයි. හිසතෙල් ගාන දිනයේ උදේ රැයින් ම හැම දෙනාම මහ ගෙදරට එකතු වුණේ හරියට මී වදයට රොක් වෙන මී මැහි පොදියක් වගේ.



ගෙට ගොඩවෙනවාත් සමග ම ආච්චිඅම්මාගේ දෙපාවලට නිවනක් නැතිවෙයි. එහෙටත් මෙහෙටත් දුවමින් තේ මේසය ලෑස්ති කරයි. ඇගේ කිසිවකට කිසිම කෙනෙකුට අත ගැසීමට ඈ ඉඩ නො තබයි.



ඇගේ කෙසෙල් කොළේ තවාපු කිරිබතට වඩා මා ආශා කළේ උම්බලකඩ පරාලයක් දමා ගලේ අඹරන ලුණු මිරිසටයි. ඊට අමතරව කොකිස්, මුං කැවුම්, කොන්ඩ කැවුම්, අළුවා, ආස්මී, කෙසෙල් ආදී බොහෝ දේ එහි වෙයි.


තේ බී හමාර වනවාත් සමග ම ආච්චිඅම්මා මගේ අතින් ඇදගෙන ගොස් ඇගේ නිදන කාමරයට රිංගයි. වෙන කිසිවෙකුට ඒ අහල පහලවත් කැරකෙන්නට ඉඩක් නැත. 



" අම්මේ සුවද "..... 



තවත් මට කට පියාගෙන සිටිය නොහැක. ආච්චිගේ අච්චාරු මුට්ටියේ සුවද නාස්ගුල් හාරගෙන ආමාශයට ම කිදා බසියි. ආච්චිඅම්මා ඇද ළග දණ ගසා ඇගේ ගබඩා කාමරය පෙන්වයි. අච්චාරු මුට්ටියට අමතරව ඇගේ ගබඩාවේ තවත් බොහෝ කැවිලි පෙවිලි වෙයි. මැටි මුට්ටිවල වෙන වෙනම අතුරා කටවල් ගැටගසා අපූරුවට සියලුම දේ නරක් නො වන ලෙස තැන්පත් කිරීමට ඇයට වඩා වෙන කිසිවෙක් සමත් නැත.



මම ආච්චිගේ ගබඩාවේ රස පරීක්ෂක වෙමි. අච්චාරුවේ ලුණු ඇඹුල් බැලීම , ආස්මී වල රටා සැසදීම හා රස බැලීම යනාදී බොහෝ දේ මට හිමිවෙයි. මේ සියල්ලම මට ආච්චිඅම්මා සමග වැඩ අල්ලනවා හා සමාන ය.. 



දවල් ආහාරය ද ඇගේ අතින් ම සැකසෙයි. කහ බත්, මාළු ඇඹුල් තියල්, අල බැදුම, සලාදය, පරිප්පු, කට්ලට්, පපඩම්, අච්චාරු යනාදී බොහෝ දේයින් කෑම මේසය පිරෙයි. 



"අම්මෝ... ඇති ආච්චියේ... තව නම් බෑ "... 



කොච්චර එපා කිව්වත් ආචිචිගෙන් බේරිල්ලක් නැත.


මේ අතරතුර ප්‍රශ්න පත්තරයකට උත්තර බැදීමට මට සිදුවෙයි.



"මිරිස් වැඩිද පුතේ.... දැවිල්ල වැඩි ද" ?

 

"හොද්ද තව ටිකක් බොර වුණානම් හොද ද මන්ද... කොහෙද උඹලගෙ ලොකුඅම්ම එක්ක කොරන්ට පුළුවන්ද"... 



"කෑම රස ද සුදු නෝන" ?.... 



බඩ කළයක් තරම් දික් කරගෙන පැයක් හමාරක් පුටුවක දිගා වන්නට තරම් අකරතැබ්බයකට මුහුණ පෑමට පවුලේ හැම දෙනාට ම සිදුවෙයි. 



" ආච්චි අතගෑවත් ඇති... මා...ර රසයි ".... 



ඇගේ දෑස් දිලිසෙයි. අපේ මුවින් එවන් වදනක් ආච්චිඅම්මා බලාපොරොත්තු වූ බව මා හොදාකාරව ම දැන සිටියෙමි.














3 comments:

  1. හා හා පුරා කියල ලියපු මගේ පලවෙනි කෙටි කතාව..

    ReplyDelete
  2. නියමයි සහෝදරී... ලියන්න කැක්කුම තියෙන කෙනා කොහොම හරි ලියනවා!!! අමාරුවෙන් හරි බ්ලොග් එකක් අටවගත්ත එකට මෙන්න මගේ සුභ පැතුම්...

    උදව්වක් තියේ නම් කියන්න, දන්න විදියට උදව් කරන්නම්... අදහසක් ගන්න ඕනේ නම් වෙන බ්ලොග් දෙක තුනකටත් ගොඩ වෙලා බලන්නකෝ... දිගටම බ්ලොග්කරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ජයෙන් ජය !!!

    ප.ලි. - Settings ගිහින් Word Verifications අයින් කරගන්න. එතකොට කමෙන්ට් කරන අයට ලේසියි...

    ReplyDelete
    Replies
    1. අයියා නිසා මට අළුත් දෙයක් ඉගෙනගන්න පුළුවන් වුණා.. මට උදව් කළාට ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ..

      Delete