Search This Blog

Friday, May 17, 2013

අවුරුදු සුවද - 05 කොටස

"රෑට කන්නෙ නැද්ද ... ළමයි...නේ"...

ස්මුරුත්තාව හැදෙනකන් ම දවල් දවසේ ම වල් පල්වලින් බඩ පුරවාගෙන සිටින අපට රාත්‍රී ආහාර ගන්නවා තියා හිතන්නටවත් බැරි තරම් ය. කාගෙන් ගැලවුණත් ආච්චිඅම්මාගෙන් ගැලවීම නම් බොරු ය. උණු උණු සුදු බතට මාළු බොර හා පරිප්පු වෙයි. ආච්චිඅම්මා පොල් හා සමානව ම උම්බලකඩ වැඩියෙන් දමා ගලේ අඹරා නෑඹිලියෙන් අඩක් පිරෙන්න පොල්සම්බෝලයක් ද සාදයි. 

"අම්...මේ... කවන්න...කෝ"....

පොඩිහිටියෝ අම්මලාට ඇවිටිලි කරති. අම්මලා සිය දරුවන්ගේ ඉල්ලීම අහක දමයි නම් ඒ පුදුමයකි. අපේ අතින් බත් පිගානක් කෑමට වරුවක් ගත කරන අප, අම්මලා කවන විට විනාඩි දෙක තුනෙන් පිගාන හිස් කරන්නෙමු.



"අ...ම්....මේ.... තව බත් ටිකා.....ක්"...... බොහෝවිට පොඩිහිටියන්ගේ මුවින් පිටවෙයි.

"දැන් කන්න බෑ කියල නේද කිව්වෙ...ඈ"....

"ඔක්කොම බොරුනෙ මේ... ළමයිගෙ.... හ්ම්ම්".....



අප නැවතත් බත් ඉල්ලන්නේ බඩගින්නට නම් නොවේ. බඩ පිරුණට හිත තව ම පිරී නැති නිසාවෙනි. අම්මාගේ අතින් කවන සෑම බත් කටක ම අමුතු රසයක් වෙයි.


"ආ..ච්චි...යේ..... මට නෑඹිලියට බෙදල දෙන්නකො"... මම කියමි.



"නෑ ..නෑ... ගෑණු ළමයි නෑඹිලියෙ කන්න හොද නෑ"... ආච්චිඅම්මා හරස් කපයි.



"ආ...නේ... මොකද්ද ආ...ච්...චි..යේ".... මම නැවතත් කෙදිරි ගාමි.



"පිස්සුද කෙල්ලෙ.. නෑඹිලියෙ කෑවම මගුල් දාට වහිනවා"....



"උඔලගෙ ලොකු අම්මත් නෑඹිලියෙ කාල නා කපන වැස්සෙ තමා මගුල් කෑවෙ"...

ආච්චිඅම්මා මතකය අවදි කරමින් පැරැන්නන්ගේ විශ්වාසයක් මතු කරයි.




"හා ...එහෙනම් මට ඇතිලිය දෙන්න...කෝ" ...

මගෙන් තවත් ඇවිටිල්ලක්. මෙවර ආච්චිඅම්මාට මට එපා කීමට මම ඉඩ නො තබමි.


"ඈ... පියන්තියො.... උඹලෑ ගෙදර මේ කෙල්ලට කන්න පිගානක් නැද්ද"..... ආච්ච්අම්මා මගේ මවගෙන් සිනහවෙමින් විමසයි.



"අනේ නෑ අම්මෙ.. මේ කෙල්ලට හොදි රොස් කරපු වලදක් පේන්න බෑ"... අම්මා ද ආච්චිඅම්මගේ කතාවට හූ මිටි තබයි.


සැබැවින් ම මම හැළි වලන්වල කෑමට ප්‍රිය කළෙමි. මම පෙරේත යැයි අයෙක් කිව හැකි ය. එහෙත් වලං ගැට්ටේ ඉතිරි වී ඇත්තේ රස ම කොටස බව දන්නේ එහෙමත් අයෙක් පමණකි.


රාත්‍රී ආහාරයෙන් පසුව නැවතත් අප ආච්චිඅම්මගේ කාමරයට කොටු වෙමු. රාත්‍රී 10.00 පමණ වන තෙක් අප විවිධ ක්‍රීඩාවල නිරත වෙමු. කළු අවතාරය බය කිරීම , අතුරු මිතුරු, පොල් කැඩීම, ගැහැණු පිරිමි මල් පලතුරු, කොටු පිරවීම අපගේ ක්‍රීඩා ලැයිස්තුවෙන් කීපයකි.



"රෑ වෙලා හොදටම... ළ...මා...යි.... නිදාගන්නලා දැන්"...

"ඇති ඔය... නට නටා හිටිය"...



අම්මලා අඩ බෙර ගසයි. මල්ලිලා සැවොම පුංචිඅම්මාගේ ඇදට රිංගා ගනියි. බාප්පලාද හැකි අයුරින් බිම පැදුරක් දමාගෙන හෝ මල්ලිලා සමග නින්දට යයි. ලොකු අම්මලාත් පුංචිලාත් ආච්චිඅම්මාගේ කාමරයේ හා සාලයේ තැනක නින්දට යයි. සීයා කෑම කාමරයේ නිදයි. ආච්චිඅම්මා සාලයේ කෙළවරක නිදයි. මම ආච්චිඅම්මාට තුරුළු වී නිදමි.



නින්ද යාගෙන එද්දී මගේ පිටුපසින් කවුරුන් හෝ සිටිනවා මෙන් දැනී මම නැගිටිමි.



"ක...වු....ද".....

"අ...ක්..කෙ... ෂ්...ෂ්.... මේ මම අ...නේ"...



ඒ චූටි මල්ලී ය. අනෙක් අයට නින්ද යනතෙක් සිට ඔහු ආදෙකු මෙන් කාමරයෙන් ලිස්සා විත් මටත් ආච්චිඅම්මටත් තුරුළු වෙයි. පොඩි මල්ලී අතුරුදන් බව විනාඩි 5ක් යන්නට පෙර දැන ගන්නා මගේ අනෙක් මල්ලිලා තිදෙන ද එකා බැගින් විත් ආච්චිඅම්මාත් මාත් නිදන පැදුරට ගුලි වෙති. මෙවිට ආචිචිඅම්මාට ද ඇහැරෙයි.



"කොහෙද.. පුතේ මේ ... රෑ ඡාමෙ කළුවරේ ඇවිදින්නෙ"... ආචිචිඅම්මාගේ කටහඩින් අම්මලා අවදිවී විදුලි පහන් දල්වයි.



"හො...යි...යෝ.... මේ ළමයි ...කොහොමද මේ නිදන් ඉන්..නෙ"...

පොඩිහිටියෝ පැදුරේ හතර කොන බදාගෙන ය. එකෙක් ආච්චිඅම්මාගේ කකුල් දෙක උඩ ය. තවකෙක් පැදුරෙන් එළියට රෝල් වී ගොස් ය.



"නැගිටපල්ල... නැගිටපල්ල"....



"නැගිටල හරියට නිදාගන්නව...ල".... අම්මලා කියද්දී ,



"අ...නේ... බෑ....ඈඈ....... අපිටත් ආච්චි එක්ක නිදා ගන්න ඕ...නේ".... මල්ලිලා කෑ ගසයි.



පොඩිහිටියන්ගේ බලවත් පෙරැත්තයෙන් අම්මලා සාලය මැද තිබෙන පුටු මේස සියල්ල ඈත් කරමින් නිදන්නට ඉඩකඩ සකස් කර දෙයි. අපි ඉක්මනින් ආච්චිඅම්මාගේ චීත්ත 6ක් 7ක් උස්සාගෙන එන්නෙමු. චීත්ත එක පෙලට බිම අතුරා අපේ සුව පහසු යහනාවන් සාදා එහි සැතපෙන්නෙමු.



ආච්චිඅම්මා , මම , චූටි මල්ලි (තරබාරු) , පොඩි මල්ලි (සඡියා) , ලොකු මල්ලිලා (තරිදුවා , සුපුනා ) සහ මගේ අම්මා , ලොකු අම්මලා , පුංචිලා වමේ සිට දකුණු පෙදෙසට පිළිවෙලින් පෝලිමට නිදති. රෙදි කඩක් පමණක් බිම එළා නිදා ගැනීමෙන් ශරීරයට දැනෙන සුව පහසුකම ගැන පැවසීමට වදන් නැත. පැය දෙකක් තුනක් පසුවන විට ඇටකටු හතරට පහට කැඩුවා හා සමාන ය. එහෙත් එහි වූ වින්දනය වේදනාවට වඩා ප්‍රභල විය. 

1 comment: