Search This Blog

Wednesday, May 1, 2013

අවුරුදු සුවඳ - 04 කොටස

"ළමා....යි.... අද මූණක් කටක් හෝදගන්න උවමනාවක් නැද්ද.... ඈ"..... 

රාත්‍රී 8.00 පසු වෙද්දී අපේ අම්මලාගේ හඩ අවදි වෙයි. එහෙටත් මෙහෙටත් පැද්දෙමින් දොර උළුවහු ගනිමින් අප ඇග පත සෝදා ගැනීමට සූදානම් වන්නෙමු. මෙසේ ඈලි මෑලිකම් දැක්වූයේ වෙන කිසිවකටවත් නොවේ. පිරිසිදු වූ පසුව අපට ඕනෑ විදියට දගලන්නට විදියක් කිසිසේත් නොලැබෙන නිසාවෙනි.


"මේ ළමයි කෝ... කෙල්ලනේ... අර ළමයි තනියම ළිදට දුවලද කොහෙද"... 


"හවස් ඡාමෙන් පස්සෙ තනියෙන් ළිදට යන්න එපා කිව්වට අහනවද ඉතිං ... කොච්චර කීවත් වගක් නැති හැටි"...

ආච්චිඅම්මා මොර දෙයි.




"අ..ම්...මේ... හඩු ගද.... දාඩිය වක්කරගෙන ඉන්නයි තවත් හැදුවෙ"....

"සත්තු වගේ... වන ඡීවී ඩිපාර්ට්මන්ට් එක"...



රෙදි අපුල්ලන්නාක් මෙන් පොල් කොහු මිටකින් අම්මලා සිය දරුවන්ව ළිද ළග දමාගෙන බැණ වදිමින් අපුල්ලයි. ඇග සේදීමෙන් පසු සැබෑවට ම අප වන ඡීවී තත්ත්වයෙන් මිදෙන්නෙමු. ආච්චිඅම්මාගේ රාණි සදුන් සබන් කැටයේ හා ගෝයා පුයර වල සුවද නාස් පුඩු හාරාගෙන යයි.



"මේ ළමයි දිහා දැන් මනුස්සයෙක්ට බලන්න පුළුවන්" ...


නැවතත් අප සුශිලාචාර විනීත දරුවන් බවට පත්වන්නෙමු. දවසේ වැදගත් ම කාර්යභාරය ඉටු කිරීම ඇරඹෙන්නෙ මෙවිටදී ය.



"ළමයි... ආච්චිටයි සීයටයි බුලත් දෙන්න ලෑස්ති වෙන්න"..



අම්මලා තෑගි පාර්සල් දෙක බැගින් අප අත තබයි. සෑම අවුරුද්දක ම මමත් අම්මාත් අවුරුද්දකට සතියකට පෙර මහරගම හන්දියෙන් ආච්චිඅම්මාට මල් වැටුණ චීත්තයකුත් සීයාට ඉරි වැටුණු තුන්පොට සරමකුත් මිලදී ගන්නෙමු.



බුලත් හුරුල්ලට යටින් බ්‍රවුන් පේපර් බෑගයක දමා සූදානම් කළ අවුරුදු තෑගි තබමින් පොඩිහිටියෝ තරගෙට පළමුව සීයාටත් දෙවනුව ආච්චිඅම්මාටත් බුලත් දී දණ ඔබා වදින්නට පටන් ගනියි. පළමු අවස්ථාව හිමි වන්නේ මට ය.



"රත්නත්තරේ පිහිටයි .... මගෙ ... දරුවෝ"....



සීයාගේ දෙපා අල්ලනවාත් සමග ම ඔහුගේ දෙඅත ම මගේ හිස මත තබා ඔහු පවසයි. සැබැවින් ම සීයා මට පියෙකි. මා නැගිටුවා ඔහු මා හට තව තවත් සෙත් පතයි. නැවූ බුලත් කොළයක් ඔහු මා අත තබයි. එහි රුපියල් සියයක් වෙයි. දෙවනුව ආචිචිඅම්මාට ද බුලත් දී දණ ඔබා වදිමි.



"තුණුරුවන්ගේ සරණයි.. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි... ආරක්ෂාවයි"..

"තව තවත් බුද්ධිය පහල වෙන්න ඕන"..

"කිසිම දුක් කරදරයක් .. අතුරු ආ...න්තරාවක් නොවේවා"...

"ඡයෙන් ඡය ම ලැබේවා"....



පන්සලේ කපු හාමිනේ මෙන් ආච්චිඅම්මා වැරහුණු දෑත් වලින් හිස පිරිමදිමින් කියාගෙන කියාගෙන යයි. ඒ සමග ම ඉනේ ගසාගෙන සිටින හැඹිළිය අතට ගන්නා ඇය බුලත් කොළයක නැවූ රුපියල් සියයකුත් වෙන ම තවත් රුපියල් පනහකුත් මගේ අත තබයි.



"මෙච්චර එපා ආ..ච්...චි...යේ".... මම කියමි.



"ඕක අම්මට පෙන්නන්න ඕන නෑ... මොනාහරි ආස දෙයක් අරන් කන්ට".... ආචිචිඅම්මා මගේ කණට කර පවසයි.



මේ අතරතුර පොඩිහිටියෝ බිම පෙරළි පෙරළි වදිති. විටෙක බුලත් අතේ උල් වූ අගිස් පැත්ත දික් කරයි.



"ඔහොම නෙමෙයි ...පුතේ... මේ...න්...න මෙහෙ...ම"



සීයාත් ආචිචිත් හරි වැරදි අපූරුවට කියා දෙයි. සෑම දරුවෙකුට ම බුලත් කොළයක නැවූ සුළු මුදලක් අත තැබීමට ඔවුන් දෙපළ අමතක නො කළේය. වැඩිහිටියෝද පිළිවෙලින් සීයටත් ආච්චිඅම්මාටත් බුලත් දී වදිති.



"අම්මෙ.. අ...ම්...මේ.... චුට්ටක් ඉන්න...කෝ.... ආ....නේ"......



"ගෙදරදි හරියට වදින්නත් බැරි වුණා...නේ"....

පොඩිහිටියන් තම දෙමව්පිය වැඩිහිටියන් සොයා ගොස් හතර ගාතෙන් ම වැද වැටෙති.



"ඔව් ඔව්... ඉතිං"...



"වදින තරමට උඹලගෙ සාක්කුව පිරෙන නිසා වදියි ඉතිං..... තෙරුවන් සරණයි මගෙ පුතේ"...



එක එකා වැද වැටෙන ගානේ වැඩිහිටියෝ සිනාමුසු මුහුණින් කියති. එවිට අපේ මුවින් :

"හැමදාම නෑ... හැම තැන ම නෑ"...

යනුවෙන් වාචාල යමක් පිටවෙයි. සැබැවින් ම බුලත් දීමෙන් අනතුරුව අපගේ විනෝදාංශය තමන් සතු බුලත්කොළ වල නවා ඇති මුදල් ගනන් කිරීම ය.



"චැක්... අපරා....දේ.... හැමදාම අවුරුදු නැත්තෙ".... පොඩි මල්ලි කියයි.



"හොද වෙලාවට.. නැත්තන් හැමදාම අපිව සුද්ද කරයි"...

පොඩි මල්ලිගේ කතාව ඇසුණු පුංචිඅම්මා කියයි.



දරුවන්ගෙන් වැදුම් පිදුම් ලබන මොහොතේ සීයාගේත් ආච්චිඅම්මාගේත් දෑස් මොහොතින් තෙත් වී යයි. ඒ දෑස් තුළ පිරී ඇත්තේ අප වෙනුවෙන් පිරී ඉතිරී යන ගිනිය නොහැකි, මැනිය නො හැකි වූ අපමණ ආදරය හා සෙනෙහසයි. අපට ලෝකයේ ලැබිය හැකි අපමණ සුවය ඇත්තේ ඔවුන් ළග ය. එමෙන් ම ඔවුන්ගේ සිත් සතුට සොම්නසින් පිරී ඇත්තේ අප ඔවුන් ළග ගැවසෙන විට ය.



අවුරුදු සුවද - 05 කොටස බලන්න මෙතන ක්ලික් කරන්න




2 comments: